මීරීගම – මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉකුත් 18වැනිදා මධ්‍යම රාත්‍රියේ සිදු වූ බිහිසුණු මාරක රිය අනතුරින් මරුමුවට පත් වු කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා ඒකක ප්‍රධානි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිය වූ සතීෂා නිලන්ති මහත්මිය ද (42) තම තුන් නිවුන් දරුවන් අතහැර පසුගියදා (26) ජීවිතයෙන් සමු ගත් අතර, ඇයගේ අවසන් කටයුතු පෙරේදා (29) පැවැත්විණි. ඇය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එසේ මියගොස් තිබිණි. බාල, තරුණ හා මහලු සෑම දෙනාම දැඩි වේදනාවකට පත් කරමින් අප අතරින් මෙලෙස සඳහටම සමුගත්තේ මාකොළ-දකුණ, රන්කෙත්යාය පාර, ගාමිණී මාවතේ පදිංචිව සිටි තුන් නිවුන් දරුවන්ගේ මව වන නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ ප්‍රජා සංවර්ධන සහකාර සතීෂා නිලන්ති නමැති 42 හැවිරිදි කාන්තාවයි. ඇය 1983 වසරේ නොවැම්බර් මස 22 වැනි දින උපත ලබා තිබූ අතර ඇය, කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියකි. 2016 වසරේදී ආදර සබඳතාවකින් කථිකාචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මහතා සමඟ විවාහ වූ ඇයට විවාහ වී වසර හයකට පමණ පසුව මේ නිවුන් දරුවන් තිදෙනා ලැබුණි. ඉකුත් 12 වැනිදා සතිෂා නිලන්ති මහත්මියගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වී වසරක් පිරීම නිමිති කරගෙන බෞද්ධයා නාළිකාවේ ධර්ම දේශනාවක් පවත්වා පසුදින (13) දහවල් ගොතටුව නව නගරයේ බටදොඹ ගාඩ්න්ස් පිහිටි නිෙවසේදී ගරුතර සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමිණි. එම ගුණ සමරු පින්කම නිමාවට පත්වීමෙන් අනතුරුව 15වැනිදා පවුලේ උදවිය යාපනය, නාගදීපයේ තෙදිනක වන්දනා ගමනක නිරතවූහ.
මොවුන් වාහන සේවා ආයතනකින් ලබා ගත් වෑන් රථයකින් වන්දනා ගමනට කථිකාචාර්යවරයා සමඟ බිරිය සතීෂා නිලන්ති, ඇයගේ නිවුන් දරුවන් තිදෙනා, මව, සොහොයුරා, සොහොයුරාගේ බිරිය හා නිවුන් දරුවන් බලා ගැනීමට කථිකාචාර්යාගේ ගෝලයකු ද ඇතුළත් වූහ. මේ වන්දනා ගමන නිම කර නැවත ඉකුත් 18වැනිදා තම නිවෙස් බලා ඔවුහු පැමිණෙමින් සිටියහ. එහිදී ඔවුන් ගමන් ගත් වෑන් රථය ඵහි රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම අධිවේගී පිවිසුම ආසන්නයේදී සිමෙන්ති පටවා ගත් ලොරි රථයක ගැටී අනතුරට ලක්විය. මේ අනතුර සිදුවන විට වෑන් රථය මීරිගම දෙසට ධාවනය වූ අතර එම දිශාවටම ඉදිරියෙන් ලොරිය ධාවනය වෙමින් තිබී ඇත. මේ අනතුර සිදු වූ ස්ථානයේදීම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා මරුමුවට පත්විය. ඊට දින හතරකට පසුව (22) බිරියගේ එකම සහෝදරයා වූ රවිදු තීක්ෂණ මහතා (35) මරුමුවට පත්විය. රවිදු තීක්ෂණ මහතා තම බිරිය සමඟ ඩුබායි රැකියාවක නිරත වී සිටියහ. එම යුවළ මෙරටට පැමිණියේ ද තම පියාණන්ගේ වර්ෂ පූර්ණ පින්කම වෙනුවෙනි. මේ අනතුරේදී තුවාල ලැබූ නිවුන් දරුවන් තිදෙනා කොළඹ ළමා රෝහලට ඇතුළත් කළ අතර එම දරුවන් සුවය ලැබීමෙන් පසු ඥාතීන් වෙත භාර දෙන ලදි. එම දරුවන් දිල්හාරා, අභිනු හා ආදිත්‍යා යන නමින් හැඳින්විණ. දරුවන්ට අවුරුදු 02 ලබන්නා වු අප්‍රේල් මස 01වැනිදා නිෙවසේ උපන් දින සාදයක් පැවැත්වීමට ද මවුපියන් කටයුතු කර තිබිණි. මියගිය කථිකාචාර්යවරයාගේ බිරිය සතීෂා නිලන්ති මහත්මියගේ දේහය මාලඹේ මල් ශාලාවක තැන්පත් කර පෙරේදා (29) දහවල් මාකොළ-දකුණ,රන්කෙත්යාය පාර,ගාමිණී මාවතේ පිහිටි සිය නිවෙසට රැගෙනවිත් තිබුණි. එදිනම පස්වරුවේ මාකොළ, නෙල්ලිගහවත්ත පොදු සුසාන භුමියේ විශාල පිරිසකගේ සෝ සුසුම් මැද දේහය භුමදානය කෙරිණි.
මල්වාන සමූහ මහානාම විතානගේ හා දෙල්ගොඩ සමූහ සුදත් පුබුදු කීර්ති