සීදූව පොලිස් ස්ථානය ඉදිරිපිට මුද්‍රණාලයක කාලයක් තිස්සේ රහසිගතව පවත්වාගෙන ගිය වාහන අංක තහඩු ව්‍යාජ ලෙස සකස් කරන ජාවාරමක් හෙළිකර ගැනීමට පානදුර, වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සමත් විය. ඒ අනුව පෙරේදා (29) එම ස්ථානය වැටලූ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් මුද්‍රණාලයේ හිමිකරු සමඟ ව්‍යාජ ලෙස සකස් කළ අංක තහඩු 03ක් සහ ඒම තහඩුවලට ඇතුළත් කරන ආරක්ෂිත මුද්‍රා සමඟ මොටර් රථ දෙපාර්තමේන්තුවේ DMT ලාංඡනය සඳහන් ස්ටිකර් සහ උපාංග රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සකස් කර නිකුත් කරනු ලබන වාහන අංක තහඩුවට සමාන අයුරින්ම මෙම ස්ථානයෙන් අංක තහඩු සකස් කර ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. අංක තහඩුවක් රුපියල් 2750ක මුදලකට මෙම ස්ථානයෙන් සකස් කර දී ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
සීදූව පොලිස් ස්ථානය ඉදිරිපිට දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති මෙම අංක තහඩු ජාවාරම සීදූව පොලීසියේ වැටලීමට ලක්නොවීම ගැන පුදුමයට පත්වන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
මෙම ජාවාරම ගැන තොරතුර ලැබී ඇත්තේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාටය. එහි අධ්‍යක්ෂ පොලිස් අධිකාරි උදය කුමාර මහතා ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව සකස් කරන ලද සැලසුමකට අනුව බුද්ධි අංශයේ සැරයන් ජයලාල් (428) සහ පොලිස් කොස්තාපල් සියන්ත (94009) යන නිලධාරීන් ආවේශන රාජකාරි සඳහා යොදවා එම ස්ථානයේ මෙම ජාවාරම සිදුකරන ආකාරය ගැන තොරතුරු රැස්කිරීමෙන් අනතුරුව වැටලීම සිදුකර තිබේ.
ගයාන් කුමාර වීරසිංහ