Home » ඊදුල් ෆිතර් රාමසාන් උත්සවය

ඊදුල් ෆිතර් රාමසාන් උත්සවය

-විශ්වාසයේ සහ පරිත්‍යාගශීලීත්වයේ ගෝලීය සැමරුම

by sachintha
March 31, 2025 4:57 pm 0 comment

ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාසයෙන් සහ යාච්ඥාවෙන් පරිපූර්ණ වූ රාමසාන් උපවාස මාසය සම්පූර්ණ කළ ලොව පුරා මුස්ලිම් ප්‍රජාව ඊදුල් ෆිතර් රාමසාන් උත්සවය සමරනු ලබයි. ඉස්ලාමීය දින දර්ශනයේ වැදගත්ම සහ වඩාත්ම භක්තිමත් මාසය ලෙස සැලකෙන රාමසාන් උපවාස මාසය පරිත්‍යාගශිලීත්වය සහ කෘතඥතාව පුද කිරීමේ කාලසමය ලෙස ද හැඳින් වේ. ඉස්ලාමය ගොඩනැඟී ඇත්තේ සෑම මුස්ලිම් ජාතිකයකුටම ජීවිතයට නිසි මඟ පෙන්වන මූලික පිළිවෙත් පහක් මතය. එය ඉස්ලාමයේ කුලුනු පහ ලෙස ද හඳුන්වනු ලැබේ. විශ්වාසය, නැමදුම, දන් දීම, උපවාසය සහ හජ් වන්දනය ඊට ඇතුළත් ය. රාමසාන් උපවාසය ඒ අතරින් සිවු වැනි කුලුන නොඑසේ නම් සිවු වැනි පිළිවෙත ලෙස ඉතා විශේෂිතය. අලුයම හිරු උදාවේ ආරම්භයේ සිට පස්වරු හිරු බැස යන මොහොත දක්වා උපවාසය ආරක්ෂා කරමින් දෙවියන් නැමදීම, දානමය කටයුතු ආදි පුණ්‍යවන්ත ක්‍රියාකාරකම්වල නිරතවීම සහ සිතින් මෙන්ම ගතින් ද යහපත් ක්‍රියා පිළිවෙතක නිරත වීම මේ රාමසාන් උපවාසයේ දෛනික ක්‍රියාවලිය වේ. රාමසාන් මාසය අවසානයේදී උදා වන ඊදුල් ෆිතර් උත්සවය සැමරීමට අවශ්‍ය පිටුවහල සහ පසුබිම නිර්මාණය වන්නේ ඒ අයුරිනි.

මාසයක් පුරා මුස්ලිම් ප්‍රජාව නිරත වූ උපවාසයේ අධ්‍යාත්මික පිළිවෙත අවසන්වීමෙන් පසු උදාවන්නේ එය සැමරීමේ උත්සවයයි. ඊදුල් ෆිතර් උත්සවය ආරම්භ වන්නේ සාමුහික යාච්ඥාවකිනි. එහිදී මුස්ලිම් ප්‍රජාව අල්ලාහ් දෙවියන් වහන්සේ වෙත කෘතඥතාව පළ කිරීම සඳහා ඉස්ලාම් දේවස්ථානවල හෝ විශාල එළිමහන් පරිශ්‍රයක රැස්වී සමූහ යාච්ඥාවේ නිරත වෙති. යාච්ඥාව ආරම්භයට පෙර සිය ප්‍රජාවේ අඟහිඟකම් සහිත සෙසු බැතිමතුන්ට ද රාමසාන් උත්සවය සතුටින් සැමරීමට අවස්ථාව උදා කරලීම සඳහා උපකාර කිරීම මේ භක්තිමත් කාලසීමාව අවසානයේ සිදු කිරීම විශේෂිතය. එය සියලු බැතිමතුන්ට රාමසාන් උත්සවය සැමරීම සඳහා අත්වැල සැපයීමකි. සමූහ යාච්ඥාවෙන් පසු උදාවන්නේ අරාබි බසින් ‘ඊද් මුබාරක්‘ ලෙස අරුත් ගැන්වූ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට පවුලේ සාමාජිකයන්, ඥාතීන් මුණ ගැසීමේ සහ ඔවුනොවුන් අතර සුහදත්වය, දයාබරත්වය, කාරුණිභාවය හුවමාරු කරගැනීමය. සියලුදෙනා අතර ආහාරපාන බෙදා හදා ගැනීම ද රාමසාන් උත්සවයේදී සම්ප්‍රදායිකව සිදුවන්නකි. එදින සිය සමීපතමයන් සමඟ ගත කිරීම, ආහාරපාන බෙදා හදා ගැනීම සිදු කෙරේ.

ඊදුල් ෆිතර් යනු සැමරුම් උත්සවයක් පමණක්ම නොව එය ත්‍යාගශීලිත්වය හා ප්‍රජාව අතර එකිනෙකාගේ වටිනාකම අවබෝධ කරගැනීමේ අවස්ථාවක් ද වේ. එය ලොව පුරා විසිරී සිටින බිලියන 1.9ක මුස්ලිම් ප්‍රජාව සිය පවුලේ සාමාජිකයන්, ඥාතීන්, මිතුරු මිතුරියන් හා අසල්වාසීන් අතර සතුට, සාමය හා පරිත්‍යාගශීලිත්වය බෙදා ගන්නා ගෝලීය සැමරුම් උත්සවයකි. ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය සමරනු ලබන්නේ සියලු ලෝකවාසීන්ට සාමය හා සතුට උදා කර දෙන අසිරිමත් සැමරුමක් වේවායි ප්‍රාර්ථනා කරමිනි.

මර්ෂාද් බාරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT