මහ බැංකු වාර්තා අනුව මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ ණය ගැතියන් 12,000ක් පමණ අර්බුදයට ලක්ව සිටින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය.
මෙම අර්බුදයට ලක්වූ ණය තොගය රු. බිලියන 210ක් පමණ වේ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය අර්බුදය විසඳීමේ වර්තමාන ප්‍රගතිය පිළිබඳ තවත් සාකච්ඡා වටයක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (28) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති අවස්ථාවේදී මේ බව අනාවරණය කෙරිණි.
ව්‍යවසායකයන්ගේ ණය අර්බුදය විසඳීමට කර්මාන්ත අමාත්‍යාංශය සක්‍රියව දායක වන අතර මෙම සාකච්ඡාවට සමගාමීව බැංකුකරුවන්, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව සමඟ සාකච්ඡා ද සාර්ථකව පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම ණයගැතියන්ගෙන් 1000ක් පමණ මේ වන විට සිය බැංකු සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඔවුන්ගෙන් 400ක් පමණ පිරිසක් වෙනුවෙන් අමාත්‍යාංශය මැදිහත් වී තිබේ.
එක් එක් ව්‍යාපාරයේ ස්වභාවය, ණය ගෙවීමේ හැකියාව මත මෙහි ප්‍රගතිය රඳා පවතින අතර ණය පොලී කපා හැරීම, කාලය දීර්ඝ කිරීම, නව කාරක ප්‍රාග්ධනයක් ලබාදීම, අනාගත පොලිය යන කාරණා එක් එක් ව්‍යාපාරිකයා අනුව වෙනස්වනු ඇත.
කෙසේ වුවද මේ ක්‍රියාවලියට බැංකු සක්‍රියව මැදිහත්වීමක් කර ඇති බව දත්ත මඟින් පැහැදිලි වුවත් යම් කාරණාවලට ඊට වඩා මැදිහත්වීමක් ව්‍යවසායකයන්ගෙන් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ අපේක්ෂාවන් දෙක අතර මැදිකරුවකු ලෙස කර්මාන්ත අමාත්‍යාංශය ක්‍රියාත්මක වන බැවින් ඔබේ අනාගත ණය ගෙවීමේ සැලැස්ම සකස් කර ගැනීමට අමාත්‍යාංශය හරහා මෙන්ම තම බැංකුව සමඟ සාකච්ඡා කිරීමට හැකියාවක් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. පසුගිය සති කිහිපය තුළ අමාත්‍යාංශය හා ලංකා බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව අතර කළ සාකච්ඡාවලින් අඩක් පමණ සාර්ථක වූ බවත් රටේ පවතින නීතියට අනුව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට බැංකුව තීරණය කළත් ව්‍යවසායකයන් හට මෙම සාකච්ඡාවට අවතීර්ණ වීමට බාධවක් නොමැත. ඒ අනුව මේ මොහොතේ ඇති එකම හා හොඳම විසඳුම අනාගත සැලැස්මක් සමඟ ඔබේ බැංකුව සමඟ සාකච්ඡා කිරීමයි.
ඒ අනුව ඉහත 12,000ක ව්‍යවසායකයන් පිළිබඳ මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව හා කර්මාන්ත අමාත්‍යාංශය දිගින් දිගටම මැදිහත්වීමක් සිදු කිරීමට සූදානම් බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
නෙරංජලා වික්‍රමසිංහ