එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ජපාන රජයේ අරමුදල් ආධාරයෙන් සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) සමඟ එක්ව, අම්පාර ඉඟිනියාගල පිහිටි NAQDA ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයේ වැඩිදියුණු කරන ලද අභිජනනාගාරය විවෘත කිරීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) සිදු කෙරිණි.
මෙහිදී සජීවී මත්ස්‍ය පැටවුන් ප්‍රවාහනය සඳහා බවුසර් තුනක් නිල වශයෙන් භාර දුන් අතර අභ්‍යන්තර ධීවර කර්මාන්තයේ නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සහ ග්‍රාමීය ධීවර ප්‍රජාවන්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සඳහා දෙරටේ කැපවීම අවධාරණය කරන ලදි.
අලුතින් වැඩිදියුණු කරන ලද අභිජනනාගාරය සහ සජීවී මත්ස්‍ය පැටවුන් ප්‍රවාහනයට බවුසර් සැපයීම මඟින් අභ්‍යන්තර ජල මූලාශ්‍ර සඳහා ගුණාත්මක මත්ස්‍ය පැටවුන් අභිජනනය, ඇති දැඩි කිරීම සහ බෙදා හැරීම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය. එමෙන්ම, මිරිදිය ධීවර නිෂ්පාදනය ඉහළ නංවන අතර දේශීය ධීවර ප්‍රජාවන් සඳහා ස්ථාවර පෝෂණ මාර්ගයක් සහ ආදායම් මාර්ගයක් සහතික කෙරේ. ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කටයුතු ශක්තිමත් කිරීම සහ තිරසර ජලජීවී වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා FAO විසින් NAQDA සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහනට ජපානය මඟින් අමෙරිකානු ඩොලර් මිලියන 3ක අරමුදල් සපයනු ලබයි. ඉඟිනියාගල මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීමට අමතරව, මෙම ව්‍යාපෘතිය මඟින් තවත් NAQDA ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථාන තුනක් සහ දැනට ක්‍රියාත්මක ප්‍රජාව මඟින් ක්‍රියාත්මක කරන කුඩා මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් ද ශක්තිමත් කෙරේ. ඒ අතරම මඩකලපුව, අනුරාධපුර සහ මොනරාගල ප්‍රදේශවල නව ප්‍රජාව මඟින් ක්‍රියාත්මක කරන කුඩා අභිජනන මධ්‍යස්ථාන තුනක් ද ස්ථාපිත කරනු ලැබේ.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මේ අවස්ථාවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ දියුණුව සඳහා උපායමාර්ගික හවුල්කාරීත්වයේ වැදගත්කම අවධාරණය කළේය. මෙම ව්‍යාපෘතිය සහයෝගිතාවයේ බලයට සාක්ෂියක් වන බව ද පැවසූ අමාත්‍යවරයා අභිජනනාගාර මෙහෙයුම් ශක්තිමත් කිරීමෙන් සහ සජීවී මත්ස්‍ය පැටවුන් ප්‍රවාහනය වැඩිදියුණු කිරීමෙන්, රට පුරා සිටින ධීවර පවුල් දහස් ගණනකට ප්‍රතිලාභ සැලසෙන වඩාත් ඵලදායී හා තිරසර මිරිදිය ධීවර කර්මාන්තයක් සහතික කළ හැකි වන බව ද කීය.
මේ අවස්ථාවේදී ජපාන තානාපති අකියෝ ඉසෝමාටා, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ශ්‍රී ලංකාවේ නියෝජිත විමලේන්ද්‍ර ෂරන් මහත්වරු අදහස් දැක්වූහ.
බුද්ධිකා ඉඹුලාන