ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පූර්ව සූදානමක් වශයෙන් උපායමාර්ගික සංවාදයක් ආරම්භ කිරීමට පාත්ෆයින්ඩර් පදනම පියවර ගෙන තිබේ.
ඉන්දීය – ශ්‍රී ලංකා සබඳතා ඉදිරියේ උපායමාර්ගිකව වැදගත් වන ඉදිරි සැලසුම් සමාලෝචනය කරන විද්වත් සංවාදයක් පසුගියදා කොළඹදී පැවති අතර පාත්ෆයින්ඩර් පදනම සහ ඉන්දියාවේ අනන්තා ඇස්පන් මධ්‍යස්ථානය එක්ව මෙම සංවිධානය කළේය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලබන මස මුල් සතියේ මෙරට සංචාරය කිරීමට නියමිතව ඇති අතර එයට පෙර එහි පසුබිම හා අන්තර්ගතය සලකා මෙම සංවාදය පවත්වන ලද බව පාත්ෆයින්ඩර් පදනම පවසයි. අනාගතයේදී ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්ට සහ කලාපීය වශයෙන් වැදගත් වන නව අදහස් සැලකිය යුතු ලෙස මෙම උපායමාර්ගික සංවාදය හේතු කොටගෙන ඉදිරිපත් වූ බව සැලකේ.
අනන්තා ඇස්පන් මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය නවුෂාඩ් ෆෝබ්ස්, පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක, අනන්තා ඇස්පන්හි ප්‍රධාන විධායක ඉන්ද්‍රාන් භක්ෂි මහත්වරුන් ඇතුළුව දෙරට නියෝජනය කරන විද්වත් කණ්ඩායමක් ද්විපාර්ශ්විකව වැදගත් වන ක්ෂේත්‍ර කිහිපයක් අලළා අදහස් ඉදිරිපත් කර ඇත.
ලෝකයේ ප්‍රධාන බලවත් රාජ්‍යයන් දකුණු ආසියානු කලාපයට එල්ල කර ඇති බලපෑම තුලනය කිරීම, ඉන්දු – ලංකා ධීවර ආරවුල, ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමනය සුරක්ෂිත කිරීම හා ආරක්ෂක සහයෝගිතාව, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඉන්දියාවේ භූමිකාව සහ ඩිජිටල් පාලනයේ හොඳම භාවිතය හා තාක්ෂණය හැඩගැස්වීමට දෙරටටම පවතින අවස්ථා වැනි ද්විපාර්ශ්විකව තීරණාත්මක කරුණු සහභාගිකයන් මෙහිදී සාකච්ඡා කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැලැස්ම අවසන් වීමෙන් පසු ආර්ථීක වර්ධනයක් අරමුණු කරගෙන දෙරට අතර තෝරාගත් ක්ෂේත්‍රයන්හි සහයෝගිතාවක් ගොඩනැඟීම කෙරෙහි ද මෙහිදී අදහස් හුවමාරු කරගෙන ඇතැයි ද පාත්ෆයින්ඩර් පදනම කියා සිටී.
ශ්‍රී ලංකා – ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා සම්බන්ධයෙන් මෙරට හිටපු ඉන්දීය මහකොමසාරිස් යශ්වර්ධන කුමාර් සිං මහතා අදහස් ඉදිරිපත් කරන ලද අතර ඉන්දියන් සාගර කලාපයේ උපායශීලී හවුල්කාරීත්වය මැයෙන් පාත්ෆයින්ඩර් පදනමේ අධ්‍යක්ෂ අහමඩ් ඒ. ජවාඩ් මහතා කරුණු දක්වා තිබේ. මෙම විද්වත් සංවාදය හා සමාන්තරව පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ආරාධිතයන් සමඟ පසුගිය කාලය තුළ පාත්ෆයින්ඩර් හා අනන්තා ඇස්පන් සහයෝගිතාවයෙන් සංවිධානය කළ සංවාද දෙකක ප්‍රගතිය සමාලෝචනය කරන ලද අතර හතර වැනි වටය සඳහා අවධානය යොමු කළ යුතු අංශ ගැන ද එහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.
මහින්ද අලුත්ගෙදර