Home » ලොවක් කම්පා කළ මියන්මාරයේ භූ කම්පනයෙන් 1700ක් මිහිදන් වෙයි

ලොවක් කම්පා කළ මියන්මාරයේ භූ කම්පනයෙන් 1700ක් මිහිදන් වෙයි

by sachintha
March 31, 2025 4:33 pm 0 comment

වසර 95කට පසු සිදුවූ විශාලතම ඛේදවාචකය

මිය ගිය ගණන දසදහස ඉක්මවනු ඇතැයි වාර්තාවක්

බැංකොක් නුවර වීදියේ තාවකාලික කූඩාරමකදී දරු ප්‍රසූතියක්

රටවල් රැසකින් ආධාර

තුවාලකරුවෝ 3,400ක්

මියන්මාර හමුදා රජය ජාත්‍යන්තරයේ සහාය ඉල්ලයි

වසර 95කට පසු මියන්මාරයේ දරුණුතම භූකම්පනය ඉතිහාසයට එක් කරමින් පසුගියදා උතුරු මැද මියන්මාරයේ මැන්ඩලායි නුවර සිදුවූ රිච්ටර් මාපකයේ 7.7ක භූ කම්පනයෙන් මියගිය ගණන 1700 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම භූ කම්පනයෙන් අතුරුදන්වූවන්ගේ සහ මිය ගිය අයගේ මළසිරුරු හෝ මෙතෙක් නිශ්චිත වශයෙන් තහවුරු වී නැති අතර, අමෙරිකානු භූවිද්‍යා නිරීක්ෂණ ඒකකයට අනුව මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව දසදහස දක්වා ඇස්තමේන්තු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. තවත් 3,400කට පමණ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මියන්මාර හමුදා රජයේ ප්‍රකාශයකට අනුව තවත් පුද්ගලයන් 300 දෙනකු අතුරුදන්වී ඇතැයි වාර්තා වේ. මීට පෙර 1930 මැයි මස 5 වැනිදා වයඹ දිග මියන්මායේහිම බාගෝ නුවර සිදුවූ 7.4ක භූ කම්පනයෙන් ජීවිත 7,000ක් පොළොවට මිහිදන්වීමෙන් පසු මේ දක්වා එරට සිදුවූ දරුණුතම භූ කම්පනය මෙය බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. භූ කම්පනයෙන් මැන්ඩලායි නුවර නිවාස, ගොඩනැඟිලි, මහමාර්ග සහ පාලම් විශාල ප්‍රමාණයක් ද විනාශ වී තිබේ. ප්‍රධාන භූ කම්පනයෙන් පසු තවත් අතුරු කම්පන 169ක් සිදුවූ බවට එරට කාලගුණ විද්‍යා ඒකකය ප්‍රකාශ කර ඇති අතර, ඊයේ දහවල් එම ප්‍රදේශයේම රිච්ටර් මාපකයේ 5.1ක විශාල අතුරු කම්පනයක් හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මිලියන 1.5ක ජනගහනයකින් යුතු මියන්මාරයේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන මැන්ඩලායි නුවර උඩුයටිකුරු කරමින් පසුගිය සිකුරාදා එරට වේලාවෙන් මධ්‍යහ්න 12.50ට පමණ සිදුවූ භූ කම්පනය අසල්වාසී තායිලන්තයට ද බලපෑ බවත්, බැංකොක් නුවරට ද සැලකිය යුතු විනාශයක් සිදුවූ බව ද වාර්තා වේ. භූ කම්පනයත් සමඟ බැංකොක් නුවර ඉදි කරමින් පැවැති මහල් 30කින් සමන්විත ගොඩනැඟිල්ලක් තත්ත්පර කිහිපයක් ඇතුළත මුළුමනින්ම පොළොවට සමතලා වූ අතර, සමාජ මාධ්‍යජාලයේ සංසරණය වන එම විඩියෝ පටය ලොව පුරා ජනතාවගේ දැඩි කම්පනයට හේතු වී ඇත. ගොඩනැඟිල්ල බිඳ වැටෙන අවස්ථාවේදී එහි සේවකයන් සියයකට අධික පිරිසක් ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි අතර, ඊයේ වන විට මළසිරුර 18ක් සොයාගෙන ඇතැයි වාර්තා වේ. තවත් පුද්ගලයන් 78 දෙනකු අතුරුදන්ව ඇති අතර, තුවාල ලැබූ සේවකයන්ගේ ගණන 32ක් වන බව බැංකොක් නුවර බලධාරීන් ප්‍රකාශ කර තිබේ. තැනින් තැන පොළොවට සමතලා වූ ගොඩනැඟිලි සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සෙවීම සඳහා එරට ආරක්ෂක අංශ පොලිස් සුනඛයන්ගේ සහාය ද ලබාගෙන ඇතැයි වාර්තා වේ. ගොඩනැඟිලි සුන්බුන්වල යටවී සිටින බවට අනුමාන කරන එම සේවකයන් මුදා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉදිකිරීමේ සිදු කරමින් පැවැති තවත් බොහෝ ගොඩනැඟිලි ද බිමට කඩා වැටුණු බවත්, සුන්බුන්වලට යටවූ පුද්ගලයන් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදුවන බවත් තායිලන්ත මාධ්‍ය වාර්තා කරයි. මියන්මාරයේ මැන්ඩලායි නුවර මේ වන විට මුළුමනින්ම යුද පිටියක් බවට පත්වී ඇති අතර, ආපදා කළමනාකරණ සේවකයන්, ආරක්ෂක අංශ, ස්වේච්ඡා සංවිධාන ඇතුළු විශාල බළකායක් දිවා රාත්‍රී අඛණ්ඩ මෙහෙයුමක නිරතව සිටින බව වාර්තා වේ. භූ කම්පනයෙන් දැඩි අර්බුදයකට මැදිවී සිටින මියන්මාර හමුදා නායකයා වසර 4කට පෙර රාජ්‍ය බලය පැහැරගැනීමෙන් පසු පළමුවරට ජාත්‍යන්තරයෙන් සහාය ඉල්ලා ඇති අතර, ඒ සඳහා රුසියාව, චීනය, තායිලන්තය, පිලිපීනය, වියට්නාමය සහ ඉන්දියාව ක්ෂණික ප්‍රතිචාර දක්වමින් හදිසි ආපදා කණ්ඩායම් පිටත් කර තිබේ. චීනයෙන් හමුදා සෙබළුන් 82 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් ද, තායිලන්තයෙන් හමුදා සාමාජිකයන් 49 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් ද , ඉන්දියාවෙන් 118 දෙනකුගෙන් යුතු හමුදා කණ්ඩායමක් ද මියන්මාර හමුදාවට සහාය වීම සඳහා මැන්ඩලායි නුවරට ගොස් සිටින බව වාර්තා වේ. මීට අමතරව තාවකාලික එළිමහන් රෝහල් සම්බන්ධ අත්දැකීම් ඇති ඉන්දීය හමුදාවේ වෛද්‍ය කණ්ඩායමක් ද මැන්ඩලායි නගරය බලා පිටත්වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඊයේ පස්වරුව වන විට තවත් රටවල් රැසක් මියන්මාරයට සහාය වීම සඳහා ඉදිරිපත් වී ඇති අතර, පවුම් මිලියන 10ක ආධාර ලබාදීමට බ්‍රිතාන්‍ය රජය පොරොන්දු වී තිබේ.

මේ අතර භූ කම්පනයෙන් තුවාල ලැබූ පිරිසට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු වෛද්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවනු ඇතැයිද, මියන්මාරය දැඩි ඖෂධ හිඟයකට මුහුණ දෙනු ඇතැයි ද එක්සත් ජාතීනගේ සංවිධානය අනතුරු ඇඟවූ බව වාර්තා වේ.

භූ කම්පනයෙන් පසු අතුරු කම්පන හටගැනීමේ අවදානම මත මියන්මාරයේ මැන්ඩලායි නුවර සහ තායිලන්තයේ බැංකොක් නුවර රෝහල් ගොඩනැඟිලිවලින් සියලු රෝගීන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා මහාමාර්ග සහ වෙනත් එළිමහන් ප්‍රදේශ භාවිතයට ගැනීමෙන් මොහොතකට පසු දරු ප්‍රසූතියක් සිදු වූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. බැංකොක් නුවර වීදියක එළිමහනේදී ඉදිකළ තාවකාලික කූඩාරමකදී වෛද්‍යවරුන් සහ හෙදියන්ගෙන් අධීක්ෂණය යටතේ සිදුවූ මේ දරු ප්‍රසූතිය පිළිබඳ සමාජ මාධ්‍යජාලයේ පුවත් සංසරණය වෙමින් පවතින අතර, එය දුටු ලොව පුරා ජනතාව මහත් සංවේදිත්වයට පත්වූ බව ද වාර්තා වේ. බිලිඳිය සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බැංකොක් නුවර වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT