Home » ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනින් ගෘහස්ථ පරිසරයටත් ඉඩක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනින් ගෘහස්ථ පරිසරයටත් ඉඩක්

by sachintha
March 31, 2025 4:00 pm 0 comment

ශ්‍රී ලංකාවේ මීළඟ ගෘහස්ථ වායුව දූෂණය කරන කරුණක් වන්නේ සිගරට්,බීඩි සහ දුම්කොළ නිෂ්පාදනය නිවෙස තුළ භාවිත කිරීම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය සහපර්යේෂකයන් පෙන්වා දෙන පරිදි සිගරැට් දුම තුළ රසායනික ද්‍රව්‍ය 7000කට වඩා අඩංගු වන අතර, එහි පිළිකා ඇති කරන රසායනික විෂ අවම වශයෙන් 69 – 70ක් පමණ ඇත.

ගෘහස්ථ පරිසරය කෙරෙහි අවධානය යොමු කිරීම “පිරිසුදු ශ්‍රී ලංකා” වැඩසටහනේ ප්‍රධාන තේමාවක් විය යුතුය.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) 2019 වාර්තාවන්ට අනුව, ලෝක ජනගහනයෙන් 99%ක් වායු ගුණාත්මක මාර්ගෝපදේශවලට අනුකූල නොවන පරිසරවල ජීවත්වන බව පෙන්වා දී ඇත. එසේම WHO 2022 වාර්තාවෙහි දැක්වෙන පරිදි, ගෘහස්ථ වායු දූෂණය හේතුවෙන් වාර්ෂිකව මිලියන 3.2කට වැඩි පිරිසක් අකාලයේ මරණයට ලක්වේ. (බාහිර පරිසර දූෂණය නිසා මිලියන 4.2ක් මිය යයි). මෙම මරණ අතර 32%ක් හෘද රෝග ද (Heart disease), 21%ක් ශ්වසන රෝග ද (Lower respiratory infections), 23%ක් ආඝාතය (Stroke) ද, 19%ක් නිදන්ගත පෙණහලු අවහිරවීමේ රෝගය (Chronic obstructive pulmonary disease COPD), සහ 6%ක් පෙණහලු පිළිකා (Lung cancer) ආසාදන හේතුවෙන් සිදුවන බව වාර්තා කරයි. විශේෂයෙන්, අවුරුදු 5ට අඩු දරුවන්ගේ නියුමෝනියා මරණ 50%ක් වායු දූෂණයට නිරාවරණය වීම හේතුවෙන් සිදුවන බව ද මෙයින් තහවුරු කර ඇත. මේ නිසාම WHO විසින් වායු දූෂණය ‘නිහඬ මාරයා’ ලෙස ද නම් කර ඇත. මේ නිසා ‘පිරිසුදු ශ්‍රී ලංකා’ වැඩසටහනේ ප්‍රධාන තේමාවක් ලෙස මිනිසාට වඩාත් බලපෑමක් ඇතිකරන ගෘහස්ථ වායු දූෂණය පිළිබඳ අවබෝධයක් සියලුම දෙනා තුළ ඇති කළ යුතුය.

රෝගවලට ගොදුරු වීම

ඉහත දත්ත පෙන්නුම් කරන ආකාරයට, අද මිනිසුන් අතීතයට වඩා විවිධ රෝගවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත. දුර්වල ගෘහස්ථ වායු ගුණාත්මකභාවය (IAQ) මිනිස් යහපැවැත්මට සැලකිය යුතු අභියෝගයක් වී ඇත. වර්තමානයේ, මිනිසුන් එළිමහනට වඩා ගෘහස්ථව (නිවෙසේ, පාසලේ, දිවා සුරැකුම් මධ්‍යස්ථානවල, සේවා ස්ථානවල, සාප්පු සහ ප්‍රවාහනයේදී) වැඩි කාලයක් ගත කරන අතර, එය ඔවුන්ගේ මුළු කාලයෙන් 90%ක් පමණ වේ. මෙම දිගුකාලීන නිරාවරණය ගෘහස්ථ පරිසරයේ භෞතික (උෂ්ණත්වය, CO2, සාපේක්ෂ ආර්ද්‍රතාවය, වායු හුවමාරු අනුපාතය), රසායනික (අංශු ද්‍රව්‍ය, වාෂ්පශීලී කාබනික සංයෝග, ෆෝමල්ඩිහයිඩ්) සහ ජීව විද්‍යාත්මක (පුස්, දිලීර, දූවිලි මයිටාවන්) දූෂක ඇතුළු විවිධ ගෘහස්ථ දූෂකවලට මුහුණ දීමේ අවදානම වැඩි කරයි.

ගෘහස්ථ වායු ගුණාත්මකභාවය(IAQ) යනු ගෘහස්ථ පරිසරය තුළ ඇති වායුවේ ගුණාත්මකභාවය දැක්වීමට යොදන සංකල්පයකි. එය ගෘහස්ථ වායුවේ පිරිසුදුභාවය, සුවඳ, ආර්ද්‍රතාවය, උෂ්ණත්වය සහ වායු සංයුතිය ආදී මූලික ගුණාංග අදහස් කරයි. කෙසේ වෙතත්, ඉහළ මට්ටමේ දූෂකවලට නිරාවරණය වීම තුළින් කෙටිකාලීන සහ දිගුකාලීනව පවතින රෝග ඇති විය හැකිය. කෙටිකාලීනව ඇතිවන රෝග ලෙස ඇස්, නාසය සහ උගුරේ දැවිල්ල මෙන්ම හිසරදය, කරකැවිල්ල සහ තෙහෙට්ටුව වැනි ක්ෂණික සෞඛ්‍ය බලපෑම් ද දිගුකාලීන නිරාවරණය තුළින් නිදන්ගත ශ්වසන රෝග, හෘද රෝග සහ පිළිකා වැනි දරුණු සෞඛ්‍ය තත්ත්වයන් ද ඇති විය හැකිය. මේ නිසා ගෘහස්ථ පරිසරයේ දූෂක ද්‍රව්‍ය අවබෝධ කරගැනීම, ඒවා පාලනය කිරීම සෞඛ්‍ය අවදානම අඩු කිරීමට උපකාරී වේ.

ගෝලීය වශයෙන් ගෘහස්ථ වායු දූෂණය තීරණාත්මක මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස පිළිගැනීම වැඩිවෙමින් පැවතුණද, ශ්‍රී ලංකාව තුළ මේ පිළිබඳ පර්යේෂණ, ප්‍රතිපත්ති සහ මැදිහත්වීම් සම්බන්ධයෙන් ඉතා අඩු මැදිහත්වීමක් දක්නට ඇත. වාහන විමෝචන, දුම් පරීක්ෂණ සහ කාර්මික දුම් පරීක්ෂණ ඇතුළු එළිමහන් වායු දූෂණය පාලනය කිරීම අරමුණු කරගත් විවිධ මුලපිරීම් සිදු කර ඇතත්, ගෘහස්ථ පරිසර දූෂණය පිළිබඳ අවධානය බොහෝදුරට අඩුය. මෙයින් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ ගෘහස්ථ වායු දූෂණයේ ප්‍රමාණය සම්පූර්ණයෙන් වටහාගෙන නොමැති බවයි. කෙසේ වෙතත්, කරන ලද පර්යේෂණ ප්‍රතිඵලවලින් පැහැදිලි වන්නේ ගෘහස්ථ පාරිසරික ගැටලුවට සැලකිය යුතු අවධානයක් දිය යුතු බවයි. ශ්‍රී ලංකාවේ වර්තමාන බොහෝ නිවාස, සේවා ස්ථාන සහ පාසල් පිහිටා ඇත්තේ දුර්වල වාතාශ්‍රයක් ලැබෙන ආකාරයටය. එපමණක් නොව, ගෘහස්ථය තුළ දුම් පානය, මදුරු මර්දක කොයිල් භාවිතය, ගෘහ භාණ්ඩ සහ සැරසිලි, නිවාස පිරිසුදු කාරක සහ සුවඳ කිරීමේ ද්‍රව්‍ය භාවිතය සහ නිවාස ඉදිකිරීම් සහ ගෘහ භාණ්ඩ සඳහා කෘත්‍රිම ද්‍රව්‍ය මත යැපීම වැඩිවීම වැනි සාධක ශ්‍රී ලංකාවේ ගෘහස්ථ වායු ගුණාත්මකභාවය පිරිහීමට දායක වේ.

ගෘහස්ථ වායු දූෂණය

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ වායු දූෂණය සිදුවන ආකාරය පිළිබඳ අවධානය යොමු කිරීමේදී විවිධ ප්‍රභවයන් හඳුනාගත හැකිය. ඒවා අතර ගෘහස්ථ පරිසරය තුළ සිදුකරන ක්‍රියාකාරකම් මේ සඳහා හේතුවේ. උදාහරණ වශයෙන් ආහාර පිසීමේදී භාවිත කරන දැව උදුන්, ගෑස් උදුන් මේ සඳහා විශාල දායකත්වයක් දරයි. ශ්‍රී ලංකාවේ ආසන්න වශයෙන් 80%ක් (මිලියන 17ක් පමණ ජනගහනය) ආහාර පිසීමේදී තම නිවෙස්වල දැව, අඟුරු ඉන්ධන ලෙස භාවිත කරයි. එහිදී නිවෙස තුළ මේවා දහනයේදී පිටවන ඉතා කුඩා අංශු (අංශුමාත්‍ර ද්‍රව්‍ය) නිවස පුරා පැතිරීමක් සිදුවේ. අතීතයේ නිවාස සකස් කිරීමේදී මුළුතැන්ගෙදර මූලික අංගයක් වන්නේ ළිපට උඩින් ඇති පෝරනුව(චිමිනිය) යි. ඒ වගේම සමහර ග්‍රාමීය පරිසර තුළ කුස්සිය තිබුණේ ගෙදරට පිටින්. නමුත් වර්තමාන නිවෙස තුළ ඉඩ ප්‍රමාණය අඩුවීම නිසා මුළුතැන්ගෙය තිබෙන්නේ නිවෙස තුළමයි. ඒ වගේම අත්‍යවශ්‍ය දුම පිටකරන මුළුතැන්ගෙයි ස්ථානයක් නොමැතිව නිවෙස නිර්මාණය කරයි. ඒ වගේම ග්‍රාමීය නිවෙස්වල දර ළිප මෙළවීම සඳහා ප්ලාස්ටික්, පොලිතින් පිලිස්සීම හා භූමිතෙල් භාවිත කරයි. එවිට දර ළිපෙන් නිකුත්වන ඒ දුමෙන් ශරීරයට ඉතාමත් අහිතකර කාබන්මොනොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වැනි අංශු පිටවීමක් සිදුවේ. වඩා භයානක වන්නේ හිමිදිරි උදය තුළ ළිප දැල්වීමේදී නිවෙසේ දොර, ජනේල වසා ඇති බැවින් නිවෙසේ සියලු දෙනාම මෙම දූෂක තත්ත්වය නිරාවරණය වන අතර දීර්ඝ වේලාවක් නිවෙස තුළ එම දූෂක රැඳී තිබේ. ඒ වගේම හඳුන්කූරු, සාම්බ්‍රාණි සහ විවිධ සුවඳ ද්‍රව්‍ය, පළිබෝධනාශක නිසා ද අප නොදැනුම්වත්වම ගෘහස්ථ පරිසරය පිරිහීමට ලක්වේ.

පිළිකා ඇතිවීමේ අවදානම

ඒ වගේම මදුරු දඟර පත්තුකිරීම මඟින් අංශු ද්‍රව්‍ය (PM 2.5 සහ PM10), වාෂ්පශීලී කාබනික සංයෝග (VOCs) සහ කාබන්මොනොක්සයිඩ් ගෘහස්ථ පරිසරයට එකතු වේ. මේ මිනිස් කටයුතු නිසා විවිධ ස්වසන රෝග, පෙණහලු පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇත. බොහෝදුරට කාන්තාවන්, දරුවන් මේ සඳහා බහුලව නිරාවරණය වේ.

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ වායු පිරිහීමට ලක්වන තවත් කරුණක් වන්නේ ගොඩනැඟිල්ලට කොපමණ වාතාශ්‍රය ගමන් කළ හැකි ද යන්න මතයි. අතීත නිවෙස්වල අවශ්‍ය ප්‍රමාණයට වාතාශ්‍රය ලබාගැනීමට වැඩි ජනේල, දොරවල්, බිත්ති සහ වහල අතර පරතරය, කවුලු සහ ජනේලයේ ඉහළ කො‍ටසේ ලූවර් සවි කර තිබිණ. නමුත් වර්තමානයේ නිවෙස්වල මෙම ප්‍රමිිය නැති අතර තිබුණ ද බොහෝදුරට සැලැස්ම අනුමත කරගැනීමට පමණක් සීමා කර ඇත. දොර, ජනේල විවෘතව තබන්නේ ද නැත. සොර සතුරන්ට බිය හෝ රිළවා,වඳුරා වැනි සතාට බිය වීම නිසා නිතරම මෙම වාතාශ්‍රය ලැබෙන ස්ථාන වසා දමා ඇත. ඒ වගේම ශ්‍රී ලංකාවේ පාසල් සහ විවිධ නේවාසිකාගාරවල ද ඇත්තේ වැඩි නේවාසිකයන් සහ අඩු වාතාශ්‍රයකි. පාසල්වල ඉගෙනුම් ආධාරක නිසා විවෘත ස්ථාන වැසී ඇත. නවීන උපාංග විධිමත් පාලනයකින් තොරව එක් කිරීම නිසා ද පන්ති කාමරවල මෙම තත්ත්වය වැඩි වී ඇත. ඒ වගේම දොර සහ ජනේල රෙදි භාවිතය නිසා නිවෙස තුළ ඇති විවිධ දූෂක වර්ග දීර්ඝ කාලයක් රැඳී තිබේ. අප තදින්ම විශ්වාස කරනු ලබන්නේ අපේ නිවෙස ඉතා පිරිසුදු බවයි. නමුත්, එම නිවෙස පිරිසුදු කිරීම සඳහා කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක රසායනික ද්‍රව්‍ය භාවිත කරයි. මෙම පිරිසුදු කිරීමේ නිෂ්පාදන ඔබේ නිවෙස පිරිසුදු කිරීමට, විෂබීජහරණය කිරීමට සැලසුම් කර තිබුණ ද, බොහෝ පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට ඒවා ගෘහස්ථ වායුදූෂණය වැඩි කරයි. මේවායින් වාෂ්පශීලී කාබනික සංයෝග (VOCs) ලෙස හඳුන්වන අතුරු නිෂ්පාදන වාතයට මුදා හරිනු ලැබේ. මෙම සංයෝගවලට ඇදුම, ශ්වසන ආසාදන ඇති කළ හැකි අතර පිළිකා පවා වර්ධනය කළ හැකිය. හොඳින් වාතාශ්‍රය ලැබීම මඟින් ඇතුළත ඇතිවන දූෂක ද්‍රව්‍ය පිටවීමක් සිදුවන අතර නිතරම පිටත සිට පිරිසුදු වායුව ඇතුළු වේ.

කෘත්‍රිම නිෂ්පාදන

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ වායු දූෂණය වන තවත් කරුණක් වන්නේ ගොඩනැඟිලි ඉදිකිරීමේදී භාවිත කරන ද්‍රව්‍ය (ඇස්බැස්ටෝස්, තීන්ත, සමහර බිම් ආවරණ, වාර්නිෂ්, ප්ලයිවුඩ් වැනි ඉංජිනේරු දැව (MDF).PVCවලින් සාදන ලද බිම් ආවරණ, ප්ලාස්ටික් ද්‍රව්‍ය) සහ ගෘහ භාණ්ඩ (තීන්ත සහ වාර්නිෂ්, ලෙදර්) සහ සැරසීමට ගන්නා කෘත්‍රිම සැරසිලි ද්‍රව්‍ය (වූල් සහිත කාපට්, ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ PVC නිෂ්පාදන) හේතුකොටගෙනය. මෙම බොහොමයක් ද්‍රව්‍ය නවීන නිවාස නිර්මාණය කිරීමේදී අනවශ්‍ය ලෙස එකතු කරයි. මෙවැනි බොහෝ ද්‍රව්‍යවල ෆෝමල්ඩිහයිඩ් සහ වාෂ්පශීලී කාබනික සංයෝග (VOCs), ෆැසලේට් දූවිලි සහ දූවිලි වල වර්ධනය වන මයිටාවන් අඩංගුවේ. නව නිවෙසක මෙම දූෂක මාස 3කට අධික කාලයක් තිබිය හැකිය. මේ නිසා නව නිවාස සකස් කිරීමේදී නිවැසියන් බැහැරව සිටින අවස්ථා සැලකිල්ලට ගෙන ඒවා සකස් කළ යුතු අතර, නිවාස සැරසීමේදී හා ගෘහ භාණ්ඩ තෝරාගැනීමේදී කෘත්‍රිම නිෂ්පාදන අඩු කිරීමටත් (දූවිලි රැඳෙන කාපට්, තෙතමනය නිර්මාණය කරන සැරසිලි) එවැනි මිලදී ගැනීමකින් පසුව නිවෙසට හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්විය යුතුය. එමඟින් දූෂක ද්‍රව්‍ය පිටතට ගමන් කිරීමක් සිදුවේ.

ශ්‍රී ලංකාවේ මීළඟ ගෘහස්ථ වායුව දූෂණය කරන කරුණක් වන්නේ සිගරට්,බීඩි සහ දුම්කොළ නිෂ්පාදනය නිවෙස තුළ භාවිත කිරීම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි සිගරැට් දුම තුළ රසායනික ද්‍රව්‍ය 7000කට වඩා අඩංගු වන අතර, එහි පිළිකා ඇති කරන රසායනික විෂ අවම වශයෙන් 69 – 70ක් පමණ ඇත. දුම්පානය කරන්නන්ට සහ දුම් නොබොන්නන්ට සහ අවට පරිසරයේ සිටින පුද්ගලයන්ට මෙය බලපානු ලබයි. බො‍හෝවිට කාන්තාවන්ගේ දුම්පානය අඩු වුවද බොහෝ දුම් පානය කරන නි‍වාසවල වැඩිහිටියන් එය භාවිත කරනු ලබන්නේ කුඩා දරුවන් සහ කාන්තාවන් ගැවසෙන නිවෙස තුළම වීම නිසා ඔවුන් ඍ‍ජුවම එයට භාජනය වේ. මෙය ඉතා කනගාටුදායකය. මේ පිළිබඳ ජනතාව දැනුම්වත් කළ යුතුය. මේ නිසා ශ්වසන රෝග සහ පිළිකා ඇති වන බව පර්යේෂණ බොහෝමයක් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ මීට අමතරව සුරතල් සතුන් (බල්ලා, පූසා, හාවා, පක්ෂීන්) නිවෙසේ තබා ගැනීම ගෘහස්ථ වායු දූෂණයට කිහිප ආකාරයකින් දායක විය හැකිය. සතුන්ගේ ලොම් සහ පිහාටු කොටස් නිසා නිවැසියා තුළ අසාත්මිකතා, ඇදුම සහ ශ්වසන ගැටලු ඇති කළ හැකිය. ඊට අමතරව, සුරතල් සතුන්ගේ මූත්‍රා සහ මලපහ බැක්ටීරියා මුදාහැරිය හැකි අතර, එමඟින් අප්‍රසන්න ගන්ධයන් සහ සෞඛ්‍ය අවදානම් ඇති විය හැකිය. සුරතල් සතුන්ට මැක්කන්, පුස් බීජාණු සහ බැක්ටීරියා නිවෙසට හඳුන්වාදිය හැකි අතර එමඟින් වායු දූෂණය තවදුරටත් වැඩි වේ. ගෘහස්ථ වායු ගුණාත්මකභාවයට සුරතල් සතුන්ගේ බලපෑම අවම කිරීම සඳහා, නිතිපතා රැකබලා ගැනීම, ඔවුන් සිටින ඇඳ ඇතිරිලි සහ ගෘහ භාණ්ඩ පිරිසුදු කිරීම කළ යුතුය.

ගෘහස්ථ වායුවේ ගුණාත්මක භාවය කෙරෙහි පිටත පරිසරයේ බලපෑම ද හේතුවේ. අධික නාගරීකරණය වී ඇති ප්‍රදේශවල වාහන දුම, කාර්මික දුම, දූවිලි, පරාග ඇතුළු එළිමහන් වායු දූෂණය, ගෘහස්ථ වායු දූෂණය වැඩි කළ හැකිය. අංශු ද්‍රව්‍ය (PM2.5 සහ PM10), නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO 2), සල්ෆර්ඩයොක්සයිඩ් (SO 2) සහ වාෂ්පශීලී කාබනික සංයෝග (VOCs) නිවෙසේ විවෘතව ඇති කවුළු, දොරවල් සහ වාතාශ්‍ර පද්ධති හරහා ගොඩනැඟිලිවලට ඇතුළු විය හැකිය. ඊට අමතරව, පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දහනය කිරීමෙන් අධික විෂ සහිත රසායනික ද්‍රව්‍ය වාතයට මුදා හරිනු ලැබේ. මෙම දූෂක ද්‍රව්‍ය නිවෙස්වලට ඇතුළු විය හැකි අතර එමඟින් දරුණු ශ්වසන ගැටලු, පිළිකා ඇතුළු දිගුකාලීන සෞඛ්‍ය අවදානම් ඇති වේ. මේ නිසා අධික නාගරීකරණය වී ප්‍රදේශවල නිවාසයන්හි ජීවත්වන නිවැසියන් ගෘහස්ථ පාරිසරික සහ බාහිර පාරිසරික දූෂක යන කාණ්ඩ දෙකම පිළිබඳ අවධානය යොමු ඇති කළ යුතුය.

එවිට, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපට නිරායාසයෙන්ම නිර්මාණය කර ගැනීමට හැකිවනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT