රුපියල් ලක්ෂ 250කට අධික මුදලක් වැය කරමින් මාස තුනකට පෙර ඉදිකළ කොට්ටුකච්චිය, කිවුල අංක එක හල්මිල්මිලෑව මාර්ගය ගමන් කිරීමට නොහැකි ලෙස අබලන් වී ඇති බව ජනතාව පවසති.
මෙම මාර්ගය පසුගිය රජයේ ප්‍රතිපාදන මත කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන යටතේ මෙම කොට්ටුකච්චියකිවුල අංක එක හල්මිල්ලෑව හරහා තරුණ ව්‍යාපාරය හරහා මාර්ගයේ කිලෝමීටරයක දුර ලක්ෂ 250කට අධික මුදලකට ඉදිකර 2024 දෙසැම්බර් 28 වැනිදා එහි වැඩ අවසන් කර ඇති බව ජනතාව චෝදනා නඟති.
එම මාර්ගයෙ ඉදිකිරීම් සිදුකරන සමයෙ එය සිදුවන ආකාරය නිසි ප්‍රමිතියකින් තොර බවට ජනතාව නිරන්තරයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ හලාවත ප්‍රධාන කාර්යාලයටත්, මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම්වරියටත්, පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු වගකිවයුතු නිලධාරීන් රැසකට මේ බව දැනුම් දීම කර ඇති නමුත් එයට නිසි ලෙස මැදිහත්වීමක් සිදුවුවද එය කොන්ත්‍රාත්කරුවන් විසින් එය ප්‍රමිතිගත ලෙස ඉදි කිරීමක් සිදුනොවීමේ හේතු මත මාර්ගය අද වනවිට ගමන් කිරීමට නොහැකි ලෙස ස්ථාන රැසකින් අබලන් වී තිබීම බරපතළ තත්ත්වයක් ඇති බව ප්‍රදේශවාසීහූ පවසති.
මෙහිදී අදහස් දැක්වු හල්මිල්ලෑව පදිංචිකරුවකු අනුර බණ්ඩාර මෙලෙස අදහස් දැක්වීය. දක්වන්නට විය.
“පසුගිය රජයෙ ප්‍රතිපාදන වලින් තමයි අපිට මේ හල්මිල්ලෑව, කිවුල අංක එක තරුණ ව්‍යාපාරය හරහා මාර්ගයේ කිලෝමීටර් එකක් ඉදිකරන්න මුදල් ප්‍රතිපාදන ලැබුණේ. වැඩ පටන් ගත්ත මුල් කාලයේ ඉඳලාම කිසිම ප්‍රමිතියක් තිබුණේ නැහැ. ඒ නිසා අපි වගකිවයුතු හැම කෙනාටම කතා කරලා මේ ගැන කිව්වා. ඒ ගැන කොන්ත්‍රාත්කරු දැනුම්වත් කර තිබුණත් එයා නිසි ආකාරයෙන් කරන බවක් පෙනුනේ නැහැ. බොරළු වෙනුවට දාලා තිබුණේ කිරි මැටි වගේ දෙයක්. ඒ ගැන ඇහුවාම අත්හදා බලන්න දැම්මා කියලා තමා අපිට කියුවේ. අන්තිමට මුළු පාරම පුපුරාලා කැඩිලා ගියා.
මුලින්ම කැඩුණේ පාර හදලා අවසන් වූ දෙසැම්බර් 28 වැනිදා කොන්ත්‍රාත්කරුගේ වාහනයකටමයි. ඉන් පස්සේ යන්න බැරි විදිහට පුපුරලා තැනින් තැන කැඩිලා ගියා. මොන රජයෙන් කළත් මේ අපේ බදු සල්ලි. ඒ නිසා අපි ඉල්ලන්නේ නැවත පාර සම්පූර්ණයෙන් සකස් කරලා දෙන්න කියලා “ ඔහු පවසන්නට විය.
මේ පිළිබඳව අදහස් දැක්වූ තවත් ප්‍රදේශවාසියකු වන ඒ.එම්. අබේරත්න මෙලෙස පවසන්නට විය.
“අපිට දුකක් නැහැ පාර හදලා අඩුම තරමින් අවුරුදු දෙක තුනක් ගිහින් කැඩිලා ගියා නම්. මාස තුනකින් කැඩිලා යන්න පාරවල් අපිට ඕනා ද? අනික රුපියල් කෝටි දෙකහමාරක මුදලක්. දැන් අපි මේ ගැන මාධ්‍යයට කියනවා කියලා දැනුම් දුන්නාම ඇවිත් කැඩුණු තැන් හාරලා ඒ තැන් විතරක් හදන්න හදනවා. නමුත් මුළු පාරම පුපුරලා ගිහින් කැඩුණ තැන් හදලා මේ කරන්න යන්නේ කොන්ත්‍රාත්කරුගේ තැන්පත් මුදල වූ රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදල ගන්න හදන වැඩක් විතරයි. අපි කියන්නේ පාර සම්පූර්ණයෙන් හදන්න කියලා ඔහු පවසන්නට විය.
මේ සම්බන්ධව මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් ආර්.ටී.නවාම් උදානි මහත්මියගෙන් අප කළ විමසීමේදී පවසා සිටියේ මෙවැන්නකි.
“මේ මාර්ගය අපිට අයිති නැති පී.ආර්.ඩී එකට අයිති මාර්ගයක්. නමුත් එය ඉදිකිරීම් ආරම්භ කරද්දි චෝදනා ගොඩාක් අපිටත් ආවා. ප්‍රමිතියකින් තොරව ඉදිකරනවා කියලා. ඇත්තටම මේ ගැන අපි පසුගිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදීත් කතා කළා. නැවත 2 වැනිදා තිබෙන සම්බන්ධීකරණ කමිටුවේදීත් විශේෂ අවධානයකට ලක් කරන්න සූදානම් කරලයි තියෙන්නේ“ යැයි පැවසුවාය.
පුත්තලම අතිරේක
හිරාන් ප්‍රියංකර ජයසිංහ