‘මට ඊයේ රෑට කන්න දුන්නෙත් නැහැ. මේ දැන් පත්තර බලමින් ඉඳලා කණ්ණාඩි දෙක පුටුව උඩ තියලා කාමරේට ගියා. ඇවිල්ල බලද්දී කණ්ණාඩි දෙක නැහැ. මේ යක්ෂ පැටව් දෙන්න කණ්ණාඩි දෙක මිදුලට වීසිකරලා. මට හිතුණොත් ඔළුව හැරුණු අතේ ගිහිල්ල අගුපිලක හරි ජීවත්වෙනවා.’
‘ඇයි තාත්තෙ මේ කෑගහන්නෙ මොකද වෙලා තියෙන්නෙ?’
‘උඔලා රෑ කෑම මට දුන්න ද, නැහැනේ. මොනවා, තාත්තා රෑට කෑවෙ අපිත් එක්ක නොව, මතක නැද්ද? කාලෙකින් කොස් මැල්ලුමක් කනවා කියලත් කිවුවෙ. ඔව් ඔව් කොස් මැල්ලුම කිවුවමයි මතක් වුණේ, ඒක නෙවේ දුවේ, මම පත්තරේ බලමින් ඉඳලා කණ්ණාඩි දෙක පුටුව උඩ තියල ගෙට ආවා ගිහින් බැලින්නම් කණ්ණාඩි දෙක මිදුලට වීසි කරලා ඒ ගැන උඹේ ළමයි දෙන්නගෙන් ඇහුවම කොන්ද නමාගෙන සීයා මේ එන්නේ කියමින් මිදුලට දුවනවා. ඇත්තට මට එන කේන්තිය. “තාත්තා තරහගන්න එපා කණ්ණාඩි දෙක ඔය නළලට උඩින් දාගෙන ඉන්නේ.”
මොනවා ඇත්තනේන්නම්…
මේ දැන් මෙතැන තිබ්බ පෑන නැහැ. මේස උඩ තිබ්බ සල්ලි ගත්තෙ කවුද, බෙහෙත් කවරෙත් මෙතැන නැහැ. මේ ආදී වශයෙන් දූ දරුවන් සමඟ හෝ බිරිය ස්වාමියා අතර හෝ ගෙදර ඉන්න කා සමඟත් මතභේද ඇතිකරගැනීමටත් පෙළඹේ. මේ තත්ත්වය ඇති වන්නේ මතකය අඩුවීම හෙවත් අමතකවීමේ තත්ත්වය අනුවයි. බොහෝවිට මෙය ඇතිවන්නේ වයසට යෑමත් සමඟයි. සමහරවිට මේ වගේ අමතකවීම් දරුවන් අතරත් පැවතිය හැකියි. එවැනි අවස්ථාවක් ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් ගැනීමට අමතක නොකරන්න.
ස්නායු සෛල විනාශවී යෑම මේ රෝගී තත්ත්වයට ප්‍රධානතම හේතුවයි. මුල් අවස්ථාවේදී මොළයේ එක්තරා ප්‍රදේශයක මේ තත්ත්වය දැකිය හැකියි. මතකය අඩුවීම හෙවත් අමතකවීමේ රෝගය තමන්ට වැගඳී ඇති බව නොවැටහේ. එහෙත් අමතකවීමේ රෝගය තමන්ට වැලඳී ඇති බවට සැක පහළවනුයේ නෑදෑහිතමිතුරන් හෝ නිවැසියන්ගෙන්ය.
මොළයට ලැබෙන රුධිර සැපයුම 20%ට පමණ අඩුවීම, ස්නායු මාර්ගයෙන් පණිවුඩ ගමන් කිරීම පෙරට වඩා 10%කින් අඩුවීම, කටට රස දැනීම අඩුවීම හා යමක් අල්ලාගැනීමේ ශක්තිය නැතිවයෑම ආදිය ද වේ.
වියපත්වීමේදී නැතහොත් වයසට යෑමේදී යමකු දුර්වල වන්නේ මෙවැනි වෙනස්කම් මතුකරමිනි. දියවැඩියාව, රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ආදී රෝග තත්ත්වයන් ඉහළයෑමෙන්, රුධිර නාළ අවහිරවීමෙන්, මොළයට ලැබෙන රුධිරය නිසි පරිදි නොලැබීමෙන් ද රෝගී තත්ත්වය ඇතිවේ.
එහෙත් මෙවැනි දේ ගණන් නොගෙන සිටීමෙන් කල්යත්ම අධික ලෙස අමතකවීම් සිදුවේ.
උදේට මුහුණ සේදීමට අමතකවීම, ආහාර ගැනීමට අමතකවීම, යමක් ගෙනයෑමට හෝ ගෙන ඒමට අමතකවීම, කලින් යොදාගත් වැඩක් අමතකවීම ද වේ.
අක්මාව, තයිරොයිඩ් ග්‍රන්ථිය, වකුගඩු ආදී ඉන්ද්රියන්හි කොටස් පවා අක්‍රියවීමෙන්, විෂ සහිත ද්‍රව්‍යයන් ශරීරගතවිමෙන් රෝගී තත්ත්වයන් ද ඇතිවේ. සමහර අවස්ථාවලදී ආහාර ගත්තද, ආහාර නොගත් බව පවසමින් ආහාර ඉල්ලා මතභේද ඇති කරගනියි. සමහර වේලාවට ආහාර කෑමට රුචියක් දක්වන්නේ කාටත් නොහඟවමිනි. නින්දේ අඩුවක් ද පෙන්නුම් කෙරේ. අන් අයගේ කටයුතුවලට බාධා කරයි.
එසේම මේ තැනැත්තන් කලහ කිරීමට පෙළඹෙන අතර, නිරුවත්ව සිටීමට ආශාවක් දක්වයි. යමක් ගැන හා යමක් කිරීමට ඕනෑකමක් දක්වනු ලබන කෙනෙකු සේ සිටින අතර කෑකෝ ගැසීමට ද පෙළඹේ. ගමනක් බිමනක් යෑමට සූදානම් වනවිට කමිසයේ බොත්තම් පටලවා දමයි. ඇඳුම් කනපිටට ඇඳීම ආදී සිද්ධීන් ද සිදුවේ. මෙවැනි සිද්ධීන් ගැන හොඳින්, එම විපරමින් සිට එම කරුණු ගැන අවබෝධයක් ලබාගැනීමට උනන්දු විය යුතුය.
මෙයට ප්‍රතිකාර ලෙස ලුණුවිල, ගොටුකොළ තම්බා එම වතුර බීමට දීම, සරස්වතී අරිෂ්ඨය, බ්රහ්මී පැණිය ලබාදීම වඩාත් යෝග්‍යවේ. එළවළු හා කෙඳි සහිත ආහාර දීමත් ව්‍යායාමයට යොමුකිරීමත් අත්‍යවශ්‍ය වේ. විනෝදය හා සැනසීම ගෙන දෙන අයුරින් කටයුතු කළ යුතුය. විශේෂයෙන් රෝගය තේරුම් ගෙන කටයුතු කිරීමට නිවැසියන් කටයුතු කළ යුතුය. ශාරීරික නිරෝගීතාව ගැන වඩාත් සැලකිලිමත් විය යුතු අතර, ඔහු රෝගියකු සේ නොසැලකිය යුතුය. ආහාර ලබාදීමේදී වැඩි අවධානයක් යොමුකළ යුතුවන්නේ සමබල ආහාර ලබාදීමටයි.
උපදෙස් – ආයුර්වේද වෛද්‍ය
සුමිත් රාජපුර
බී.ඇල්. ප්‍රේමරත්න