ප්‍රශ්නය – මා 33 හැවිරිදි තරුණයෙක්. මට හුස්ම ගැනීමේදී ඉඳහිට පපුව ඇතුළතින් විදුලිසැර වැදීමක් වැනි දෙයක් වෙනවා . එක්වරම හුස්ම සිරවීමක් වැනි දෙයක් වෙනවා. එවිට ටිකටික හුස්ම පහළ දමා සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා.මෙය දින කිහිපයකට වරක් වෙනවා. පපුවේ සෙම ගතියකට ද එසේ වන්නේ..? (ධනංජය – පානදුර)
පිළිතුර : හුස්ම ගැනීමේ අපහසුතා බොහෝදුරට සෙමටත්, ඇදුම තියෙන අයට ඉඳහිටත් ඇතිවෙනවා. උණක්, කැස්සක් නොමැතිව හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් නිව්මෝනියා තත්ත්වය නොවෙන්න පුළුවන්. හෘදය වස්තුවේ ඇතිවන ආබාධවලටත් හුස්ම ගැනීමේ අපහසුතාව ඇතිවිය හැකියි. සමහරුන්ට හෘදය ස්පන්දනයේ වෙනසක් ඇතිවෙන්න පුළුවන්. හුස්ම ගැනීමේ අපහසුතාව ඇතිවෙද්දි පපුවේ ගැස්මක් ඇතිවේනම් එවිටදී ඔබේ හෘදය ස්පන්දනයේ වේගය අඩුවෙන්න හෝ වැඩිවෙන්න පුළුවන්. මෙය තරුණ පිරිසටත් සෑදීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ඔබ කරන රැකියාව හෝ ඔබගේ වාතාවරණය නිසා ඇතිවන ආතතිය මෙයට හේතුකාරක විය හැකියි. එය Anxietnstress ලෙස හඳුන්වනවා. මට සීතෙන විදිහට ඔබට ඇත්තේ Anxietnstress විය හැකියි. බඩේ ගෑස් තත්ත්වය වැඩිවීමත් මෙයට හේතු වෙන්න පුළුවන්. එහිදී උගුරට ඇවිත් පපුවේ දැවිල්ලක් ඇතිවෙනවා. හුස්ම ගැනීමේ අපහසුව එතරම් දැනෙන්නේ නැහැ. කෙසේ වෙතත් ඔබ ECG පරීක්ෂණයක් කර පපුවේ ගැස්මෙහි වෙනසක් වේ දැයි බැලිය යුතුයි. මෙය දිගටත් තිබුණොත් ඔබේ උදරයේ, ආමාශයේ ඇසිඩ් ගතිය වැඩිවීමෙන් ඇතිවන රෝගයක් දැයි පරීක්ෂා කර බලන්න.
ප්‍රශ්නය – මගේ පුතාගේ වයස අවුරුදු 13යි. අඩු වයසින් ඉපදුණු ඔහුගේ ක්‍රියාශීලී ගතිය අඩුයි. ක්‍රීඩා වැනි බාහිර වැඩවලට යොමුවෙන්නත් කම්මැලි ගතියක් පෙන්වනවා. අධ්‍යාපන කටයුතු කළත් අනෙක් සිසුන්ට වඩා පහළ මට්ටමේ ඉන්නේ. ගෙදරදීත් ක්‍රියාශීලි නැහැ. මෙය පසුකාලීනව මඟහැරේවි ද…..? විටමින් වර්ගයක් අවශ්‍ය ද….? (සුජාතා – අකුරැස්ස)
පිළිතුර:- මෙයට හේතු කිහිපයක් තිබෙනවා. ADHD (Attention Deficit Hyper Activity Disorder) නමින් රෝගී තත්ත්වයක් තිබෙනවා. එහිදී පාසල් වැඩකටයුතු සම්බන්ධයෙනුත්, අනෙක් ක්‍රියාශීලී වැඩවලදීත් ක්‍රියාකාරීත්වයේ අඩුවීමක් දක්නට ලැබෙනවා . අනෙක OTISM(ඔටිසම්) නමින් රෝගී තත්ත්වයකුත් තිබෙනවා .මේ Otisam තත්ත්වය තිබෙන ළමුන්ටත් පාසල් කටයුතු නිසි ලෙස කරගෙනයෑමේ අපහසුවක් වගේම පවුලේ අය සහ පාසලේ මිතුරන් සමඟ ගැටීමේ අපහසුවක් ඇතිවෙනවා . සමහරුන්ට කුඩා කල සිටම තයිරොයිඩ් ආසාදන තිබෙනවා . එය “Hypothairoids” නමින් හඳුන්වනවා. එය තයිරොයිඩ් පරීක්ෂණයකින් හඳුනාගත හැකියි. සමහරවිට ලේවල සීනි අඩු_වැඩිවීම මෙයට බලපාන්න පුළුවන් .මේ තත්ත්වය ඔබට උපතේ සිටම තිබේනම් ADHD හෝ OTISM වැනි ප්‍රශ්නයක් විය හැකියි. මේ සඳහා පළමුව ළමා රෝග වෛද්‍යවරයකුත් පසුව ස්නායු රෝග වෛද්‍යවරයකුත් හමුවන්න. විටමින් ඌනතාවලටත් මෙය සිදුවෙනවා. ඔබේ දරුවාගේ මේ තත්ත්වයට ඇඟේ හෝමෝන වර්ගවල අඩුවක් වෙන්නට ද පුළුවන්. එවැනි තත්ත්වයක් නම් හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කරගන්න.
ප්‍රශ්නය – විශ්වවිද්‍යාල සිසුවියක වන මා විසිදෙහැවිරිදි තරුණියක්. 73kgක් වන මා අනෙක් මිතුරියන්ට වඩා බරින් වැඩියි. වෙනත් කිසිම රෝගයකට බෙහෙත් ගන්නේත් නැහැ. බර අඩුකරගන්න පිළියමක් අවශ්‍යයි. (ෆියෝමි-තිඹිරිගස්යාය)
පිළිතුර : බොහෝවිට බර වැඩිවිමට හේතුව අපගේ කෑම පාලනය නොකිරීමයි. කඩ කෑම ගැනීම, සීනි සහිත බීම පානය, පිෂ්ඨ ධාතු සහිත ආහාර ගැනීම , ශාරීරික ව්‍යායාම අඩුකම ආදිය මෙයට බලපානවා. සමහරවිට ඔබ තරුණියක නිසා ඇඟේ හෝමෝනවල අඩුපාඩුවක් ද තිබිය හැකියි. එය “PCOS” ලෙස වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ ඌනතාවක් නිසාත් බර වැඩි විය හැකියි. පවුලේ අනෙක් අය තරබාරු නම් ජානවලින් ද තරබාරු වෙන්න පුළුවන්. එනිසා මෙයට බෙහෙත් කිරීම අපහසුයි. විශ්වවිද්‍යාල සිසුවියකට තිබෙන ආතතිය නිසාත් බර වැඩිවිය හැකියි. මේ සඳහා පිළියමක් ලෙස කෑම පාලනය කරන්න ඕනේ. පිෂ්ඨ ධාතු සහිත කෑම, සීනි සහිත බීම පානය හැකිතරම් අඩුකරගන්න ඕනේ. සතියට 03,04 වතාවක් ඇඟට ව්‍යායාම අවශ්‍යයි. විශ්වවිද්‍යාලයේ සිටින නිසා ඒ සඳහා පහසුකම් තිබෙනවනේ. ඔබේ හෝමෝනවල අඩුවක් තිබේදැයි සෙවීමට ස්කෑන් පරීක්ෂණයක් හෝ ඒ පිළිබඳ නාරිවේද විශේෂඥයකුට කියා පරීක්ෂා කරගන්න. විශේෂයෙන් මාස්ශුද්ධිය සෑදීමේ අපහසුතා තිබේනම් පරීක්ෂා කරගන්න. පවුලේ තරබාරු අය නොමැති නම් ඔබට හෝමෝන පරීක්ෂණයක් කරගත යුතුමයි.
උපදෙස්
කායික රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
එච්. ඩී. විජේසිංහ
මනෝජ් රුක්මල් කුමාරසිංහ