වසර සියයකට පමණ පෙර සිට ක්‍රමිකව සමාජගත වූ, සැකසූ ඉක්මන් ආහාර රටාව (fast food culture) නිර්දය ලෙස විවේචනයට ලක් වී, සියලුම බෝ නොවන රෝගවලට ඍජු චූදිතයා ලෙස පෙනී ගියත් සියලු දෙනා වටහාගත යුත්තේ මෙය වසර පනහක සියයක සිට පැවත එන ප්‍රශ්නයක් නොව, වසර දහස් ගණනකට පෙර මානව ශිෂ්ටාචාරය තුළ සිදුවූ සරල සොයාගැනීමක් (ධාන්‍ය පිටි බවට පත් කිරීම) රෝගී තත්ත්වය ඇති කිරීමට හෝ උත්සන්න කිරීමට අඩිතාලම දමා ඇති බවයි.
වර්තමාන ලෝකයේ ද මේ හා සමාන ආසන්නතම හේතුවක් ඇත. ඒ මෙසේය.
දියවැඩියාව යනු කුමක්දැයි සරල මතක් කරදීමකින් හා පසුගිය ලිපියේදී කතාබහට ලක් කළ දියවැඩියා ප්‍රභේද දහයේ ප්‍රධානතම ප්‍රභේද තුනෙන් පළමු දෙවර්ගයේදී පොදුවේ දැකගත හැකි රෝග ලක්ෂණ මේ ලිපිය හරහා හඳුනාගැනීමට උත්සාහ කරමු.
දියවැඩියා තත්ත්වයක් ලෙස සලකන්නේ, ප්‍රභේද අනුව වෙනස් වූ රෝග සම්භවයක් ඇතත්, පොදුවේ ගත් කල “අග්න්‍යාශය මඟින් ඉන්සියුලින් හෝමෝනය නිපදවීමේ ආබාධගත තත්ත්වයක් නැතිනම් නොහැකියාවක් හෝ නිපදවූ ඉන්සියුලින් ශරීරයේ සෛල තුළ ක්‍රියාත්මක වීමේ ගැටලුසහගත තත්ත්වයකි.” එමඟින්, රුධිරගත වූ ග්ලූකෝස් සාන්ද්‍රණය අසාමාන්‍ය ලෙස ඉහළ යෑම ප්‍රාථමික රෝග ලක්ෂණයක් ලෙස දැකිය හැකි අතර එය රසායනාගාර පරීක්ෂණයක් ඔස්සේ හෝ නවීන වෛද්‍ය විද්‍යාත්මක උපාංග ඔස්සේ හෝ තහවුරු කරගත හැකිය.
Type – 1 Diabetes සහ Type -2 Diabetes තත්ත්වයන් තුළදී දැකිය හැකි පොදු රෝග ලක්ෂණ නිදන්ගත ලෙස කාලාන්තරයක් මුළුල්ලේ පැවති රුධිරගත අධික ග්ලූකෝස් සාන්ද්‍රණයේ ප්‍රතිවිපාක ලෙස නම් කළ හැකිය.
එම රෝග ලක්ෂණ නම්,
1. වැඩි වාර ගණනක් මූත්‍රා පිටවීම (Poly uria)
මෙය සිදුවන්නේ රුධිරයේ ඇති අධික ග්ලූකෝස් ප්‍රමාණය වකුගඩු හරහා පෙරා ඉවත් කිරීමට ශරීරය දරන උත්සාහය නිසාවෙනි.
2. අධික පිපාසය/නොසන්සිඳෙන පිපාසය (Polydipsia)
මීට හේතුව ඉහත දැක්වූ පරිදි අධික ලෙස මූත්‍රා පිටවීම නිසා ශරීරය නිරන්තර විජලන තත්ත්වයකට භාජනය වීමයි. එම නිසා මොළයේ පිපාසාව උදෙසා ඇති සංවේදක ස්නායු උත්තේජනයකට ලක්වේ.
3. නිරන්තරව පවතින කුසගින්න (Polyphagia)
මෙයට හේතුව රුධිරයේ අවශ්‍ය ප්‍රමාණයටත් වැඩියෙන් ග්ලූකෝස් පැවතුණද ඉන්සියුලින් ක්‍රියාකාරීත්වයේ අක්‍රමිකතාව නිසා සෛල තුළට ග්ලූකෝස් නොයෑම හේතුවෙන් ශරීරයට අවශ්‍ය ශක්ති ප්‍රමාණය නොලැබීමයි.
4. නිරන්තර තෙහෙට්ටුසහගත තත්ත්වය සහ ඇස් බොඳවීමේ තත්ත්වය (Fatigue and blurred vision)
සෛලවලට ග්ලූකෝස් මඟින් ශක්තිය නොලැබීමත්, එම නිසා ඇතිවන නිරන්තර ශක්ති ඌනතාව, කුසගින්න, පිපාසාව හේතුවෙන් රෝගියා නිතැතින්ම ශරීර දුබලතාවකට මුහුණදෙයි. රුධිරගත ග්ලූකෝස් ඇසේ කාචය මත ක්‍රියාත්මක වීම නිසා පෙනීමේ දුබලතා ඇතිවිය හැකිය.
5. බර අඩුවීම (Weight loss)
මෙයට ද ප්‍රධානතම හේතුව වන්නේ ශරීරයට අවශ්‍ය ශක්තිය නොලැබී යෑම නිසා ශරීර අභ්‍යන්තරිය පරිවෘත්තිය ක්‍රියා ඇතුළු පටකජනන ක්‍රියාවලි යන්ත්‍රණය බිඳවැටීමට ලක්වීමයි. එසේම ශරීර අභ්‍යන්තරයේ ඇති මේදය දහනය කර ශක්තිය ලබා ගැනීමට ශරීරය උත්සුක වීම ද මීට හේතුවක් ලෙස සැලකිය හැකියි.
තවමත් අපි කතා කරමින් පවතින්නේ දියවැඩියාවේ ප්‍රධාන ප්‍රභේද දෙකේ සමානතාවන් පිළිබඳයි. එහෙත් ඉහත කී සමානතාවන් පවා Type 1 Diabetes ප්‍රභේදයේදී Type 2 Diabetesවලට වඩා ක්ෂණිකවත්, රෝග ලක්ෂණ යම්තාක් දුරට සංකීර්ණ හා දරුණු ලෙසත් විද්‍යමාන විය හැකියි.
Type 2 Diabetes තත්ත්වයේදී යම්තාක් දුරකට මන්දගාමී හා තීව්‍ර නොවූ රෝග ලක්ෂණ නිරූපණය වේ. එහෙත් පුද්ගලානුබද්ධ වන ඉහත සඳහන් කළ සියලු කරුණු අනිවාර්යයෙන්ම එසේම විය යුතු යැයි කිව නොහැකිය.
ඉහත කී ප්‍රභේද දෙකේම දීර්ඝකාලීන සංකූලතා ලෙස,
කුඩා හා විශාල රුධිර නාළ, තුවාල හා පළුදුවීම්වලට ලක් විය හැකිය. එමඟින් වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩපණ වීම (Diabetic Nephropathy)
ස්නායු පද්ධතියට හානි සිදු වන්නට පුළුවන. (විශේෂයෙන්ම අත්වල ඇඟිලි, පාද සහ ඇස්)(Diabetic Neuropathy) මෙහිදී අත් පා හිරිවැටීම්, වේදනාව – කටු අනිනවා ලෙස හෝ දැවිල්ලක් ලෙස දැනීම, කූඹි කනවා ලෙස නැතිනම් කූඹි දුවනවා ලෙස දැනීම රෝගීන්ගෙන් ලැබෙන ප්‍රධානතම රෝග පැමිණිලි ලෙස සඳහන් කළ හැකිය. ඊට අමතරව ඇසේ ස්නායුවලට වන හානි නිසාවෙන් පෙනීමේ දුර්වලතා හෝ අන්ධතාවයට පවා පත්වීමට පුළුවන.
රුධිර ධමණි, ශිරා හා කේශ නාළිකාවලට වන හානි නිසා ඇතිවිය හැකි හෘදයාබාධ, මොළයේ ආඝාතය (Brain stroke), ප්‍රමාණවත් ලෙස රුධිරය නොලැබීම නිසා ශරීරයේ ඇතිවිය හැකි සුව නොවන තුවාල සංකීර්ණ වීම නිසා අත් පාවල කොටස් කපා ඉවත් කිරීම දක්වා දුරදිග යා හැකියි.
එසේම සෛලවලට ප්‍රමාණවත් ලෙස ග්ලූකෝස් නොලැබීම නිසා අමතර ශක්ති ප්‍රභවයක් ලෙස ශරීරයේ පටකවල ඇති මේදය භාවිත කිරීමේදී රුධිරයට එක්වන අතුරු ඵලයක් වන Ketone bodies නිසා ඇතිවිය හැකි Ketoacidosis තත්ත්වය. මෙම තත්ත්වය රෝගියා කෝමා තත්ත්වයකට පත්වීමට තරම් සංකීර්ණ විය හැකියි.
මීළඟ ලිපියෙන් මෙම ප්‍රධාන ප්‍රභේද දෙකේ ඇති වෙනස්කම්, රෝග පාලනය, රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරමු.
වෛද්‍ය
ඩී.එම්.අමරසේකර