“බුදු බණ යනු අමෘතයක් වැනි ය. එයින් ඔබේ සිතේ සියලු කෙලෙස් ඉතා ඉක්මනින්, කෙටි කලකින් නැති වී ගොස්, ඔබ නියම බෞද්ධයකු කරන බව සිහියේ තබා ගන්න.”
බෞද්ධ ආගමික ඉගැන්වීම්වල ඉතා මූලික අදියරේ පැහැදිලි කිරීම්වල සඳහන් වන්නේ එලෙස ය. එබැවින් බෞද්ධාගමිකයෝ ඉතා ශ්‍රද්ධාසම්පන්නව සහ ආගමානුකූලව බුදු බණ ශ්‍රවණය කරන අතර ඒවා පිළිපැදීමටත් යොමු වෙති.
බුදු බණෙහි අන්තර්ගත වනුයේ බුද්ධ දර්ශනයයි. එමඟින්, පැවතුණු සමාජ ධර්මතා සහ ජීවිත දර්ශනය පිළිබඳ කිසියම් පිළිබිඹුවක් නිරූපණය කරයි. බුද්ධ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ දේශනා කරනුයේ බුදුන් වදාළ ධර්මයයි.
“යමෙක් පටිච්ච සමුප්පාදය දකී නම්, හෙතෙම ධර්මය දකියි” යනුවෙන් බෞද්ධ ඉගැන්වීම්වල සඳහන් වෙයි. ‘පටිච්චසමුප්පාදය’ යන්නෙහි ගැබ්ව ඇත්තේ අවිද්‍යාසහගත වීම නිසා හේතුඵල පැවැත්මෙන් නැවත නැවත උපදිමින් සංසාරයෙන් මිදීමට නොහැකිව අනවරතව භව ගමනට පැමිණෙන ආකාරයයි.
එහෙත් මේ පිළිබඳ අමුතු කතාබහක් පසුගියදා අප කාටත් අසන්නට ලැබිණි. ඇත්තටම එය අමුතු බණකි.
රූපවාහිනියේ දම් දෙසන ධර්මධර, විනයධර, විචිත්‍ර ධර්ම කථික භික්‍ෂූන් වහන්සේ නමක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන්දින උත්සවය වෙනුවෙන් පැවති දානමය පින්කමකට සහභාගි වෙමින් අපූරු ධර්ම දේශනාවක් සිදු කොට තිබිණි. එහිදී කියවුණේ ඉකුත් ජනාධිපතිවරණ සමයේදී මෙරටට ඉන්ධන සහ ගෑස් නොගෙන්වීමට තමා උපදෙස් දුන් බව ය. එය මේ රට අස්ථාවර කරන අන්දමේ ප්‍රකාශයකි. ඉන්ධන, ගෑස් නැතිව පීඩා විඳි යුගය අපට ඉතා හොඳින් මතක ය.
එහෙත්, පසුව උන් වහන්සේම ප්‍රකාශ කොට තිබුණේ එය වැරදීමකින් කරන ලද ප්‍රකාශයක් බව ය; තමා ඉදිරිපිට කැමරාවක් ඇති බව නොදැන කළ ප්‍රකාශයක් බවය. ඒ නිසා, උන් වහන්සේ ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබිණි.
දැන් අපට මතුවන ගැටලුව වන්නේ ඉහත ප්‍රකාශ දෙකෙන් කවර ප්‍රකාශයක් සත්‍යය ද යන්නයි; නොහොත්, දෙවනුව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වගකීමක් ගන්නේ කෙසේ ද යන්නයි.
භික්‍ෂුවගේ කාර්යභාරයට ශාසනයේ උන්නතිය හා රාජ්‍යයේ අභිවෘද්ධිය සඳහා අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කිරීම අයත් වේ. එසේනම්, අදාළ භික්ෂූන් වහන්සේ මේ සිදු කර ඇත්තේ රාජ්‍යයේ පැවැත්ම උදෙසා අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කිරීමක් ද?
භික්ෂූන් වහන්සේ කැමරා ඇති තැන එක් බණක් සහ කැමරා නැති තැන තවත් බණක් යනුවෙන් දෙවර්ගයක බණ දේශනා කරනවා දැයි අපි නොදනිමු. කැමරා බණ, රූපවාහිනී බණ, පාලකයන් වෙනුවෙන් බණ, පොදු ජනතාව වෙනුවෙන් බණ යනුවෙන් විවිධ වර්ගයේ බණ පවතී දැයි අපි නොදනිමු. එබැවින් ඒ පිළිබඳ අපගේ නොදැනුම්වත්භාවයට කමා කරනු මැනව.
උන් වහන්සේගේ මුල් ප්‍රකාශයේ ඇති බිහිසුණු බවත්, සමාව ඉල්ලන දෙවැනි ප්‍රකාශයේ ඇති සානුකම්පිත බවත් යන දෙකම අපට එක්වර සන්නිවේදනය කර ගත නොහැකි ය.
එකී කාරණය පසෙකට තබා, ඒ හා සමගාමීව යෙදෙන වචනයක් වන ‘වැදි බණ’ කෙරෙහි මඳක් අවධානය යොමු කරමු. ‘වැදි බණ’ යන්නෙහි වචනාර්ථය වන්නේ ‘දුසිරිත් සිතමින්, කියමින්, කරමින්ම දෙන අවවාද, අනුශාසනා, උපදෙස්, ඔවදන්’ යන්නයි. අවවාද, අනුශාසනා, උපදෙස් ආදිය දෙන්නකු විසින් මූලිකවම ඒවා පිළිපැදිය යුතු බව හා සමාජ සම්මතයෙහි මැනවින් පිහිටා සිටිය යුතු බවත්, එසේ නොවන්නේ නම් ඒවා වැදි බණ ලෙස හඳුන්වනු ලබන බවත් එහි අදහසයි. උක්ත ප්‍රකාශය හා මේ අදහස අතර ඍජු සම්බන්ධයක් නොවුණත්, මේ පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කරවීම වටිනා බව අපගේ හැඟීමයි. මන්ද යත්: බුදුන් වහන්සේ ධර්ම දේශනා කොට, පසුව ඒවාට නිවැරැදි කිරීම් එක් කළ බවක් අප දන්නේ නැති බැවිනි.
වර්තමානයේ ‘කාලීන බණ’ කියන විචිත්‍ර ධර්ම කථික භික්‍ෂූන් වහන්සේ සමාජයේ ඉහළ ස්ථරවලට ඔසවා තැබුවේ රූපමාධ්‍යයයි. එහෙයින්ම කැමරාව ඉදිරියේ, කැමරාවට ගැළපෙන බණ කීම දැන් සම්ප්‍රදායක් බවට පත්ව තිබේ. ඒවා සමාජ මාධ්‍යයේ ඉතා ඉක්මනින් ප්‍රසිද්ධ වන බව ඒ දේශකයෝ අත්දැකීමෙන්ම දනිති. ඒ නිසා බුදුන් දෙසූ ධර්මය යැයි ‘අමුතු බණ’ කීම ප්‍රවණතාවක්ව පවතියි.
මේ ප්‍රකාශය නිසා ආගමික අනුගාමිකයන්ගේ හිත් නොරිදෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ඒ සඳහා වන යහපත් සමාජ අර්ථය සමාජගත වනු ඇත යන අපේක්ෂාවෙන් පමණක් මේ සටහන ලියා තබමු.
ජන සමාජයේ තවමත් ඉතා ගෞරවපූර්වකව ජීවත්වන, සමාජයේ නිවැරැදි දිශානතියට මඟ කියන, අර්ථයෙන් හා ධර්මයෙන් බණ දේශනා කරන ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේ අපි ඉමහත් ගෞරවපූර්වකව සිහිපත් කරමු; උන් වහන්සේ ඉදිරියේ නමස්කාරපූර්වක වෙමු.
මෙකී කාරණය පිළිබඳ ඉතා යහපත් පැහැදිලි කිරීමක් මීට දශක ගණනකට පෙර මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියා තබා, ගුණදාස කපුගේ නම් වූ විශිෂ්ට සංගීතවේදියාගේ සංගීතයට නන්දා මාලනිය විසින් මෙසේ ගායනා කොට තිබිණි: එහි පද මාලාව මේ සටහනේ නිමාවට ඉතා සුදුසු ය:
“බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනු
සැඩොලා වුණත් සුදනෙකු නම් පුටුව දෙනු
හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනු
දෙමළා වුණත් විරුවකු නම් ගරු කරනු…
“බුදු හිමි, ජේසු හිමි, නබි හිමි වැඳ-පුදනු
දෑ, ගොත්, කුල නුදුටු උන් බණ පිළිපදිනු
වැදි බණ මැදින් මුනි බණ තෝරා අසනු
වැදි බණ දෙසන සඟ ගණ වුව පිටු දකිනු…”