අම්බලන්තොට පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ නිවසකදී අද (31) අලුයම දෙකට පමණ සිදුවූ වෙඩි තැබීමකින් නිවෙස් හිමියා තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.
වෙඩි තැබීමෙන් මෙසේ තුවාල ලබා ඇත්තේ නිවෙස් හිමියා වන තෙන්නකොන්ගමගේ රොෂාන් නැමති වයස වුරුදු 30ක් පමණ පුද්ගලයෙකු වේ.
නිවෙස් හිමි තුවාල ලැබූ පුද්ගලයා බිරිදට වැසිකිලියට යාම සඳහා ඇය සමඟ එළියට පැමිණ නිවසත් මුළුතැන් ගෙයත් අතර තිබු පුටුවක වාඩිවී සිට තිබේ, ඒ අතර ඒ ආසන්නයේ කැළෑ කොටසක සැඟවී සිටි වෙඩික්කරු පැමිණ වෙඩිතබා පිටව යන ආකාරය නිවසේ සවිකර තිබු CCTV කැමරාවක සටහන්වී තිබේ, වෙඩික්කරු එම අවස්ථාවේ වෙස් මුහුනක්ද පලද සිට ඇති ආකාරය CCTV දර්ශන අනුව පෙනී යයි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ඒ ආසන්නයේ ඇති තම මවගේ නිවසට දිව ගොස් ඇති අතර පසුව 1990 ගිලන් රථයක් ගෙන්වා ඒ මගින් රෝහල් ගත කර තිබේ.
දෙපිරිසක් අතරේ ඇතිවී තිබෙන මෙම ගැටුම ගව සොරකමකින් ආරම්බවී ඇති අතර පසුව මිනිස් ඝාතනයක්, වෙඩි තැබීම් දක්වා මෙසේ දුරදිග ගොස් ඇති බව පොලිසිය පවසා සිටියි.
වෙඩි තැබූ පුද්ගලයා තුවාල ලැබූ පුද්ගලයාගේ බිරිදගේ ප්‍රකාශයකට අනුව පොලිසිය හඳුනාගෙන ඇති අතර ඔහු අත්දන්ගුවට ගැනීමට අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබේ.