Home » චමිඳු ප්‍රමුඛ මහනුවර පන්දු යවන්නෝ යාපනය ඉනිම බිඳ දමති

චමිඳු ප්‍රමුඛ මහනුවර පන්දු යවන්නෝ යාපනය ඉනිම බිඳ දමති

-කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්

by sachintha
March 28, 2025 4:13 pm 0 comment

සිය හොඳම පළමු පෙළ පන්දු යැවීම සටහන් කළ චමිඳු වික්‍රමසිංහ ප්‍රමුඛ මහනුවර පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ එන්එස්එල් සිවුදින තරගයේ යාපනය පළමු ඉනිම ලකුණු 201කට සීමා විය.

රවිඳු රසාන්ත සාර්ථක සටනක නිරතවෙමින් ඉනිම ගොඩනැඟුවත් මහනුවර පන්දු යවන්නන් හමුවේ සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට අවස්ථාවක් නොලැබිණි. යාපනය ඉනිම ඇරඹූ රවිඳු ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස මුළු ලකුණු 200දී දැවී යන විට ශතකයට ලකුණු 3ක් පසුපසින් සිටියේය. අංජල බණ්ඩාර (28) පමණක් ලකුණු 86ක සබඳතාවකින් චමිඳුට සහාය වූ අතර, ප්‍රබල පිතිකරුවන් වූ නායක ජනිත් ලියනගේ ලකුණු 5කට, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 2කට සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 5කට දැවී ගියහ. පළමු පෙළ ඉනිමක සිය හොඳම පන්දු යැවීම සටහන් කළ චමිඳු ලකුණු 54කට කඩුලු 5ක් බිඳ දැමූ අතර, සහන් ආරච්චිගේ කඩුලු 2ක් දවා ගත්තේය. 22 හැවිරිදි චමිඳු ක්‍රීඩා කරන 14 වැනි පළමු පෙළ තරගය මෙයයි.

පළමු දිනයට තරගය නතර කරන විට මහනුවර පිල කඩුල්ලක් දැවී ලකුණු 67ක් රැස් කර තිබිණි. දැවී ගිය පිතිකරු වූ පැතුම් නිස්සංකගේ ඉනිම ලකුණු 14කට සීමා විය.

මේ අතර දඹුල්ලේ පැවැත්වෙන තරගයේදී දඹුලු පිලට එරෙහිව පළමු දිනයේදී කඩුලු 9ක් දැවී ලකුණු 300ක් රැස් කිරීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වූහ. ලකුණු 78කට කඩුලු 4ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සෙසු පිතිකරුවන් සමඟ එක්ව ඉනිම ලකුණු 287 දක්වා ඉදිරියට ගෙන ගියේය. ඔහු 8 වැනි කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 123කින් ලකුණු 119ක් රැස් කර තිබුණේ හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟිනි. මෙන්ඩිස් ඊයේ රැස් කළේ 19 වැනි පළමු පෙළ ශතකයයි. නායක චරිත් අසලංක සහ ළහිරු මදුශංක ලකුණු 43 බැගින් ඉනිමට එක් කළ අතර, පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුලු 3ක්, මොහොමඩ් ශිරාස් සහ දුලාජ් සමුදිත කඩුලු 2 බැගින් දවා ගත්හ.

මේ තරග ද්විත්වයේ දෙවැනි දිනය අදයි.

යාපනය – මහනුවර

යාපනය පළමු ඉනිම – 201 (ඕවර 68.1) රවිඳු රසාන්ත 97 (චමිඳු වික්‍රමසිංහ 54/5, සහන් ආරච්චිගේ 20/2)

මහනුවර පළමු ඉනිම – 67/1 (ඕවර 17)

කොළඹ – දඹුල්ල

කොළඹ පළමු ඉනිම – 300/9 (ඕවර 76) කුසල් මෙන්ඩිස් 119, චරිත් අසලංක 43, ළහිරු මදුශංක 43, අසිත වන්නිනායක 38 (අකිල ධනංජය 91/3, මොහොමඩ් ශිරාස් 48/2, දුලාජ් සමුදිත 70/2)

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT