Home » ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
වසර 21කට පසු

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

by sachintha
March 28, 2025 4:09 pm 0 comment

සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනයේ මෙහෙයුම් ප්‍රධානි හිරාන් ද මැල් සහ U Pro කළමනාකාර අධ්‍යක්ෂ මනීෂ් කිෂෝර් මහත්වරු අතින් ගෘහස්ථ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ලාංඡනය එළිදැක්වූ අවස්ථාව. ඡායාරූපය – සුලෝචන ගමගේ

වසර 21කට පසු ගෘහස්ථ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනයට (CICA) අවස්ථාව ලැබී තිබේ. ලෝක ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනය විසින් මෙහෙයවනු ලබන මේ තරගාවලිය ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන්නේ 2004 වසරෙන් පසුවය. ඒ අනුව 12 වැනි ගෘහස්ථ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් මස 27 වැනිදා සිට ඔක්තෝබර් මස 5 දක්වා තලවතුගොඩ ඔස්ටේසියා ක්‍රීඩා සංකීර්ණයේ සහ අභිනවයෙන් ඉදි කළ U Pro ගොඩනැඟිලි පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාව සමඟ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව සහ අමෙරිකාව නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වීමට නියමිත මෙවර ගෘහස්ථ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනය විසින් මීට මාස කිහිපයකට පෙර මෙරට පැවැත්වූ මාස්ටර්ස් ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ සාර්ථකත්වය හේතුවෙන් බව පසුගියදා කොළඹ පැවති ගෘහස්ථ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ලාංඡනය නිරාවරණය කිරීමේ සහ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවේදී එම සම්මේලනයේ මෙහෙයුම් ප්‍රධානි හිරාන් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මෙවර ගෘහස්ථ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරින් සහ ක්‍රීඩාලෝලීන් ඇතුළුව දහසකට ආසන්න විදේශිකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ද, එය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට දායකත්වයක් සපයනු ඇතැයි ද හිරාන් ද සිල්වා මහතා කීවේය.

වසර 1995 දී එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවති පළමු ගෘහස්ථ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට මේ දක්වා පැවති සියලු තරගාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ බවත්, සෑම අවස්ථාවකදීම පළමු කණ්ඩායම් 3 අතරට පිවිසීමට ශ්‍රී ලංකාව සමත්වූ බවත් සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනයේ මෙහෙයුම් ප්‍රධානි වැඩිදුරටත් පැවසීය.

කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන ගෘහස්ථ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කාන්තා හා පිරිමි විවෘත, අවුරුදු 22න් පහළ කාන්තා හා පිරිමි තරග ඉසව් ඇතුළත් වන අතර, ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් ඉදිරියේදී තෝරාගැනීමට නියමිතය.

අවසන් වරට 2017දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති තරගාවලියේ කාන්තා හා පිරිමි ශූරතා දිනාගැනීමත් සමඟ මෙතෙක් පැවති සියලු තරගාවලි ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වී ඇති අතර, ශ්‍රී ලංකාව 2004 තරගාවලියේ අනුශූරතාවට හිමිකම් කීවේය.

ෆවුස් මොහොමඩ් සහ නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT