රජරට විශ්වවිද්‍යාලයේ හතරවන පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ අති උත්කර්ෂවත් ලෙස ඉකුත් 18 වැනිදා විශ්වවිද්‍යාලයීය නව තාක්ෂණ පිඨයේ ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබුණි. එය විශ්වවිද්‍යාලයට දේශීය හා ජාත්‍යන්තරව පිළිගැනීමක් ගෙන දුන් පර්යේෂකයන් සහ නිපැයුම්කරුවන්ගේ විශිෂ්ට දායකත්වයන්ට ගෞරව කිරීම සඳහා කැප වූ කීර්තිමත් උත්සවයකි. විශ්වවිද්‍යාලයීය, පීඨ මට්ටමින් සුදුසුකම්ලත් අයදුම්කරුවන්ට කාණ්ඩ තුනක් යටතේ සම්මාන 16ක් පිරිනමන ලදි. මේ යටතේ ජීවිත කාලය සඳහා එක් වරක් පිරිනමනු ලබන පර්යේෂණ විශිෂ්ටතා රන් සම්මානය මහාචාර්ය ඩබ්ලිව්. ඒ.එන්.ඩී. වික්‍රමසිංහ මහතා (වෛද්‍ය සහ සමාන්තර විද්‍යා පිඨය) විසින් දිනාගන්නා ලදි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ.එල්. වසන්ත කුමාර සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයයේ උපකුලපති ආචාර්ය ජනක පුෂ්පකුමාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වුණි.
මෙවර සම්මාන උලෙළේ පර්යේෂණ කමිටුවේ සභාපති ලෙස කළමනාකරණ පීඨයේ මහාචාර්ය සන්ධ්‍යා කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායම විසින් මෙම උලෙළ සංවිධානය කරන ලද අතර, ඔවුන්ගේ උත්සාහයෙන් පර්යේෂණ විශිෂ්ටත්වය පිළිබඳ සාර්ථක සහ අමතක නොවන සැමරුමක් සහතික කළේය. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය අධ්‍යයන විශිෂ්ටත්වය කරා යන ගමන ඉදිරියටත් පවත්වාගෙන යමින් දීප්තිමත් අනාගතයක් සඳහා විචිත්‍රවත් පර්යේෂණ සංස්කෘතියක් පෝෂණය කරනු ඇතැයි සියලුම දෙනාගේ අපේක්ෂාවයි.