ලෝක ජල දිනය හා ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩසටහනට සමගාමීව පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පරමහංකඩ ගම්මානයේ පිහිටා තිබෙන දේශීය විදේශීය සංචාරකයින්ගේ සංචාරක ස්ථානයක් වන Òරන්දුණු දිය ඇල්ලÓ අවට පරිසරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ගම්වාසීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
ගම්මානයේ සාම ප්‍රජාමූල සංවිධානය භාරව කටයුතු කරන ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ නිලධාරිනි තිළිණි වික්‍රමසිංහ මහත්මියගේ උපදෙස් මත ගම්වාසීන් සියලුම දෙනා එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේය.
ගම්මානයේ සිට රන්දුණු දිය ඇල්ලට යන මාර්ගයේ මීටර් 500ක දුරක් පවිත්‍ර කිරීම, දිය ඇල්ල අසළ තිබු ප්ලාස්ටික්, පොලිතීන්, විදුරු බෝතල් ඇතුළු නොදිරන ද්‍රව්‍ය එකතු කර පස්සර ප්‍රාදේශීය සභාවට භාරදීම ගම්වාසීන් විසින් සිදු කළේය.
නමුණුකුළ කන්දෙන් ආරම්භ වන ලොග්ගල්ලා ඔයේ පළමු දිය ඇල්ල රන්දුණු ඇල්ල වෙන අතර මෙය දැක බලා ගැනීමට දිනකට දේශීය විදේශීය සංචාරකයන් විශාල පිරිසක් කැලෑ මාර්ගවලින් පැමිණෙති.
පැමිණෙන සංචාරකයන්ට දිය ඇල්ල අසලට යාමට තිබූ මාර්ගය අපවිත්‍ර වීම, කැලෑවෙන් වැසීම, දිය ඇල්ල අසල වීදුරු ඇතුළු නොදිරන ද්‍රව්‍ය බහුලව තිබීම නිසා සංචාරකයන් දැඩි අසීරුවට ලක්වූ අවස්ථා තිබෙන බව ගම්වාසීන් පවසයි.
සංචාරක කර්මාන්තය දියුණු කර ගැනීම තුළින් ගම්මානයේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම, රන්දුණු ඇල්ල බලන්න එන සංචාරකයන් වැඩි කර ගැනීම සහ පිරිසුදු පරිසරයක් නිර්මාණය කර ගැනීම ගම්වාසීන්ගේ අරමුණ වී ඇත.
ඌව පළාත් සමූහ – ප්‍රසන්න පත්මසිරි