Home » නුවරඑළිය-ඌවපරණගම හරහා මහියංගණය මාර්ගය කඩිනමින් අවසන් කර දෙන්න -කෝරළයේ ජනතාව රජයෙන් ඉල්ලයි

නුවරඑළිය-ඌවපරණගම හරහා මහියංගණය මාර්ගය කඩිනමින් අවසන් කර දෙන්න -කෝරළයේ ජනතාව රජයෙන් ඉල්ලයි

by sachintha
March 28, 2025 4:58 pm 0 comment

තල්පිටිගල ජලාශයේ යටිතල පහසුකම් සැලසීමේ අරමුණ ඇතිව නුවරඑළියේ සිට ඌවපරණගම මස්පන්න යාලගමුව හරහා මහියංගණය දක්වා යාමේ අරමුණ ඇතිව සකසන මාර්ගයේ යාලගමුව රදැල්ල උමාඔය අතර මාර්ග කොටසේ කොන්ක්‍රීට් ඇතිරීමේ වැඩද අතහැරදමා තිබේ. මේ නිසා රුපියල් ලක්ෂ ගණනක මුදලක් අපතේ යෑමට ලක්වන බැවින් ඉතිරිව තිබෙන කිලෝමීටර් එකහමාරක දුර මාර්ග කොටසේ වැඩ ආරම්භ කර කඩිනමින් අවසන් කර දෙන ලෙසට ඌවපරණගම ගම්පහ කෝරළයේ ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.

ඌවපරණගම ගම්පහ කෝරළයේ සංවර්ධන සමිතියේ සභාපති ඩී.බී. රත්නායක මහතා –

“වාරිමාර්ග අමාත්‍යාංශය චින රජයට අයත් බැංකුවකින් ලබා ගත් ණය මුදලකින් ඌවපරණගම යාලගමුව රදැල්ල හා කන්දකැටිය මැදින් ගලා බසින උමාඔය හරස් කර තල්පිටිගල ජලාශය ඉදිකිරීමට සැලසුම් කර තිබුණා. උමාඔයට අයත් කන්ද කැටිය යෝජිත තල්පිටිගල ජලාශයේ පිවිසුම් මාර්ගය ලෙසට සැලකෙණ ඌවපරණගම මස්පන්න යාලගමුව ඔස්සේ නුවරඑළියේ සිට මහියංගණයට කිලෝමීටර් 71ක දුරක් පවති. නමුත් දැනට නුවරඑළිය, වැලිමඩ හා බදුල්ල හරහා මහියංගණයට කිලෝමීටර් 150ක පමණ දුරක් යා යුතු වේ. එසේම වැලිමඩ සිට මෙම මාර්ගය හරහා මහියංගණයට කිලෝමීටර් 68කි. වැලිමඩ සිට බදුල්ල හරහා මහියංගණයට ඇති දුර කිලෝමීටර් 120ක් පමණ වෙනවා.

මේ නිසා කෙටි කාලයකින් ඌවපරණගම මස්පන්න යාලගමුව කන්දකැටිය නව මාර්ගය ඔස්සේ ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු නැඟෙනහිර පළාතට මෙන්ම පොලොන්නරුව හා වැලිමඩ ඌවපරණගම හා මධ්‍යම පළාතට අයත් වලපනේ වැනි ප්‍රදේශවල කෘෂි නිෂ්පාදන කෙටි කාලයකින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ප්‍රවාහනය කිරීමේ අවස්ථාව තිබෙනවා.

එවැනි වාසිදායක මාර්ගයක් වන මස්පන්න යාලගමුව රදැල්ල තල්පිටිගල උමාඔය දක්වා කිලෝමීටර් 03ක් පමණ දුරක් තිබෙනවා. එම කිලෝමීටර් 03 අඩි 18ක පළලින් යුතු මාර්ගයක් කොන්ක්‍රීට් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව මෙම මාර්ගයේ වැඩ 2024 වන විට වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් බණ්ඩාරවෙල වාරිමාර්ග අධ්‍යක්ෂක කාර්යාලය හා කන්දකැටිය වාරිමාර්ග කාර් යාලය එක්ව සැලසුම් කර තිබුණා.

ඒ අනුව යාලගමුව රදැල්ල උමාඔය අතර කිලෝමීටර් 02ක් පමණ කොන්ක්‍රීට් අතුරා අඩි 09ක් පළලට කොන්ක්‍රීට් අතුරා සැකසුවා. ඉතිරි අඩි 09 පළලට කොන්ක්‍රීට් ඇතිරීම සිදු කර නෑ. එසේ කොන්ක්‍රීට් ඇතිරීමට ඉතිරිව තිබෙන අඩි 09ක පමණ මාර්ග කොටස සැකසීමට අවශ්‍ය කළුගල් (A -B – C ) ද ගෙනැවිත් ඇතිරීමට තැන තැන ගොඩගසා ද තිබෙනවා.

පසුගිය දිනවල ඇද හැළුණු අධික වර්ෂාව නිසා යාලගමුව රදැල්ල අතර මාර්ග කොටස සැකසීමට අතුරා තිබෙන එම කළුගල් සෝදා යෑමට ලක්වෙලා. මේ නිසා රුපියල් ලක්ෂ ගානක මුදලක් නාස්තිවී තිබෙනවා. එනිසා මෙම මාර්ගයේ අත්හැරදමා තිබෙන ඉදිකිරීම් නැවත ආරම්භ කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටිනවා.”

කන්දකැටිය වාසනාගම සුබසාධන සමිතියේ සභාපති ලසන්ත හෙන්නායක මහතා (50) තල්පිටිගල බහුවාරි ව්‍යාපාරයට අපගේ ඉඩම් පවර ගත්තා. ඒ වෙනුවට ඌවපරණගම යාලගමුව උමාඔයට අයත් රක්ෂිත අක්කර 60ක පමණ භූමියක තාවකාලිකව එළවළු වගාව සිදු කිරීමට කන්දකැටිය වාරි ඉංජිනේරු කාර්යාලය අපට අවසර ලබාදුන්නා. ඒ අනුව දැනට වසර 03ක පමණ කාලයක සිට අපගේ කන්දකැටිය වාසනාගම ගම්මානය ආශ්‍රිත පවුල් 60ක් පමණ දෙනා මෙම ඉඩම්වල එළවළු වගා කරනවා. මෙහි වගා කරන එළවළු අපි වැලිමඩ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන යනවා.

නමුත් උමාඔය අසල අපේ වගා භූමි අසල සිට රදැල්ල යාලගමුව හරහා ඇති මාර්ග කොටසේ ඉදිකිරීම් අතහැරදමා තිබෙනවා. අධික වර්ෂාවට මාර්ගයේ කොටස් සේදියෑමට ලක්වෙලා. මෙම මාර්ගය තද බැවුම් නිසා වාහන ධාවනය සිදු කිරීම ඉතාමත් අපහසුයි. මෙසේ මාර්ගය සැකසීම අත්හැරදමා තිබෙන කොටස සකසන්නේ නම් කෙටි කාලයකින් නුවරඑළිය හා මධ්‍යම පළාතේ ජනතාවට මහියංගණයට යෑමට මෙන්ම මහියංගණ අවට ජනතාවට නුවරඑළිය වැලිමඩ යන ප්‍රදේශවලට පැමිණීමට හැකි වෙනවා. එසේම අපේ එළවළු නිෂ්පාදන පහසුවෙන් කෙටි කාලයක් තුළ කැප්පෙටිපොළ හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානවලට ප්‍රවාහනය කිරීමටත් හැකි වෙනවා. එසේම මාර්ග පහසුකම් නොමැතිකමින් දුෂ්කර ගම්මාන බවට පත්ව තිබෙන අපේ ගම්මානවල ගම්මිරිස් ඇතුළු ගොවි නිෂ්පාදන පහසුවෙන් අලෙවි කර ගැනීමටත් හැකි වෙනවා.

ඒ නිසා දැනට අතහැරදමා තිබෙන මාර්ග කොටස සකස් කර දෙන ලෙසට නව රජයෙන් ඉල්ලා සිටින බව ලසන්ත හෙන්නායක මහතා පැවසීය.

වැලිමඩ – කේ.ආර්.ආර්. රාජමන්ත්‍රී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT