Home » ආණ්ඩුවට මාස 6යි: තවමත් කෙඳිරි ගානවා

ආණ්ඩුවට මාස 6යි: තවමත් කෙඳිරි ගානවා

- පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

by sachintha
March 28, 2025 4:00 pm 0 comment

ණය අරගෙන රටක් කරගෙන යන්න ඕනෑද කියා අහපු අය මේ අවුරුද්දේ අය-වැය පරතරය පියවීමට ඩොලර් බිලියන 7.3ක ණයක් ගැනීමට සූදානම් වෙන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

‘ජාතික ජන බලවේගයේ පිරිස් කියනවා රට හදන්න නම් පළාත් පාලන ආයතනවල බලයත් අවශ්‍යයි කියලා. අනුර දිසානායක මහතා ජනාධිපති වෙලා පසුගිය 21 වැනිදාට මාස 6ක් ගතවී ගොස් තිබෙනවා. ජනාධිපතිවරයාගේ සම්පූර්ණ ධුර කාලය මාස 60යි. මේ වන විට ජනාධිපතිගේ ධුර කාලයෙන් සියයට 10ක් අවසන්.

රටේ ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආහාර ද්‍රව්‍යවලට අයකරන බදු සියල්ල බලය ලබාගත් පසු ඉවත් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. යූටියුබ් එකෙන් ජනාධිපති කතා අහපු මිනිස්සු හිතුවා අවුරුදු 76ක් කරපු හොරකම් නිසා තමයි මේ වැට් බදු වැඩි වෙලා තිබෙන්නේ කියලා. ඒ නිසා අනුර දිසානායක ජනාධිපති වුණාම, ජාතික ජන බලවේගයේ පළමු අය වැයෙන් මේ වැට් බදු අඩු කරයි කියලා ජනතාව හිතුවා.

ඒ වගේම විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා කිව්වා. ඉන්ධන මිල අඩු කරනවා කිව්වා. මේ කතා අහගෙන හිටපු රටේ කාන්තා පරපුර හිතුවා සැමියා උපයන මුදලින් කෑම බීමවලට වියදම් කරන මුදල් ප්‍රමාණය අඩුවෙයි. ළමයින්ගේ අමතර පන්ති ගාස්තු අඩුවෙයි. පාසල් උපකරණවල මිල අඩුවෙයි. බෙහෙත්වල මිල අඩුවෙයි. තෙල් මිල අඩුවෙයි. බස් ගාස්තු මිල අඩුවෙයි කියලා. ඒ අනුව එක මිටට රටේ කාන්තා පරපුර ජාතික ජන බලවේගය වටා එකතු වෙන්න පටන් ගත්තා.

මේ වන විට ආණ්ඩුව පත්වී මාස 6ක කාලයක් ගත වී ගොස් තිබෙනවා. නමුත් තවමත් කෙඳිරි ගානවා. ණය අරගෙන රටක් කරගෙන යන්න ඕනද කියලා අහපු අය මේ අවුරුද්දේ අය-වැය පරතරය පියවන්න ඩොලර් බිලියන 7.3ක ණයක් ගන්න සූදානම් වෙනවා. බලාපොරොත්තු වුණ ආදායම් උපයා ගැනීමට නොහැකි වුණා නම් ඒ ඩොලර් බිලියන 7.3 ණය ප්‍රමාණය තවත් වැඩි වෙනවා. අවුරුදු 76ටම අරගෙන තිබෙන්නේ ඩොලර් බිලියන 95යි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT