අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය යුද හමුදා බුද්ධි අංශයට අයත් නිවෙස්නයක් වැටලීමෙන් රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවෙන් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඊයේ (27) නියෝග කළේය.
වසර 10කට ආසන්න කාලයක් විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව නඟා ඇති චෝදනා 25කින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
විත්තිකරු මහනුවර දිසාව භාර සහකාර පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කරමින් උඩතලවින්න මනුෂ්‍ය ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව ප්‍රකාශ කළ විනිසුරුවරයා එහිදී ලද ඔත්තුවක් අනුව ඇතිවූ සැකය අනුව අදාළ නිවෙස්නය වැටලීම කර ඇති බව කියා සිටියේය.
අදාළ වැටලීම කිරීමට පෙර මහේස්ත්‍රාත්වරයා දැනුවත් කර නියෝගයක් ගෙන ඇති බවත් ඉහළ නිලධාරීන් දැනුවත් කර ඇති බවත් සාක්ෂි අනුව සනාථව ඇති බවත් ප්‍රකාශ විය.
විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ රාජ්‍ය රහස් හෙළි කිරීම පිළිබඳ චෝදනා දැක්වුවත් චුදිත කිසිම රාජ්‍ය රහසක් සතුරු පාර්ශ්වයකට හෙළි කර නැති බවත් ඔහු නීතිමය ප්‍රතිපාදන අනුව කටයුතු කර ඇති බවත් මහාධිකරණ විනිසුරු නිකුත් කළ පිටු 90කට ආසන්න නඩු තීන්දුවේ සඳහන් වේ.
මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය විමසා බැලෙන මැතිවරණ අවස්ථාවකදී බලයේ සිටින පක්ෂයේ බලවත් කොටස් සිදු කළ උඩුතලවින්න දස පුද්ගල මනුෂ්‍ය ඝාතනය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ වගකීමක් ප්‍රදේශය භාර පොලිස් නිලධාරියා වශයෙන් විත්තිකරුට පැවරෙන බව අධිකරණය ප්‍රකාශ කළේය.
එම මිනිස් ඝාතනය සිදුවීමක් නොවන බවත් වාර්ගික ගැටුමකට හේතුවිය හැකි කාරණයක් බවත් විත්තිකරු එහිදී නෛතික ප්‍රතිපාදන අනුව කටයුතු කර ඇති බවත් ප්‍රකාශ කර සිටියේය.
තීන්දුව ප්‍රකාශ කිරීමත් සමඟ විත්ති කූඩුවේ සිටගෙන සිටි හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතා අධිකරණයට වැඳ ආචාර කළේය.
විත්තිකරුට නඩු පවරන ලද්දේ 2002 වසරේ ජනවාරි 1වැනිදා සහ 2002 සැප්තැම්බර් 3 වැනිදා අතර කාලය තුළදී කොළඹ අතුරුගිරිය, මහනුවර සහ කඩුගන්නාවේදී හමුදා බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගෙන යුද රහස් හෙළි කිරීම, ඔවුන් භාවිත කළ යුද උපකරණ අත්අඩංගුවට ගෙන ඡායාරූපගත කිරීම සහ වීඩියෝගත කිරීම ඇතුළු අධිචෝදනා යටතේය.
නඩු පැවරීම සිදු වන විට විත්තිකරු පොලිස් අධිකාරී ධුරයට උසස් කොට සිටි අතර, එය අත්හිටුවා වැඩ තහනම් කිරීම සිදු විය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවිය. විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සමඟ චන්දිම අතපත්තු, චමීර අතපත්තු යන නීතිඥ මහතුන් පෙනී සිටින ලදි.
චන්දන ජයවීර