Home » යෝෂිත සමඟ ආ සිවුදෙනා අප්‍රේල් 1 දක්වා රිමාන්ඩ්
රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ පහරදීම:

යෝෂිත සමඟ ආ සිවුදෙනා අප්‍රේල් 1 දක්වා රිමාන්ඩ්

by sachintha
March 28, 2025 4:38 pm 0 comment

 

යෝෂිත රාජපක්ෂ මහතා සමඟ පැමිණ සිටියදී කොළඹ රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිවු දෙනා ලබන අප්‍රේල් 1දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය ඊයේ (27) නියෝග කළාය.

මෙම සිවු දෙනා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ විනිසුරුවරිය මේ නියෝගය කළාය.

සැකකරුවන් සම්බන්ධයෙන් නීතිඥවරුන් සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය ලබන 1 වැනිදා සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙස ද බන්ධනාගාරයට නියම කළාය.

සිදු කළ දැනුම් දීම මත ඔවුන් පෙරේදා (26) කොම්පඤ්ඤවීදිය පොලීසියට පැමිණි අතර ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මේ සිවු දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිය, පසුගිය 20 වැනිදා යූනියන් පෙදෙස, පාර්ක් වීදියේ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් තිබුණේ තවත් කිහිප දෙනකු ද සමඟය.

ඊට අදාළව යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරියගෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය පසුගිය (25) ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

එම ස්ථානයට ඇතුළුවීමේදී හඳුනාගැනීමේ අත් පලඳනාව පැලඳීම, රාජපක්ෂ යුවළ ප්‍රතික්ෂේප කළ බව කියන සිදුවීමත් සමඟ ඔවුන් සමඟ සිටි පිරිස එහි ආරක්ෂක නිලධාරියාට පහරදී ඇතැයි පොලීසිය කළ විමර්ශනවලින් අනාවරණය කරගෙන ඇත.

සැකකරුවන් දින 5ක් පමණ සැඟව සිට පෙරේදා (26) පොලීසියට භාරවී තිබේ. මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන කොම්පඤ්ඤවීදිය පොලීසිය සිදු කළ අතර මේ වනවිට එම විමර්ශන කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදී තිබේ.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT