Home » නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් දෙවැනි විනිසුරුත් ඉවත් වෙයි

නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් දෙවැනි විනිසුරුත් ඉවත් වෙයි

by sachintha
March 28, 2025 4:00 pm 0 comment

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කලම්බු නමැති සමාගමෙන් ලබාගත් රුපියල් මිලියන 70ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරන ලද නඩුව විභාග කිරීමෙන් දෙවැනි වරට පත්කළ විනිසුරුවරයාත් ඊයේ (27දා) ඉවත් විය. මෙම නඩුව මුල්වරට පසුගිය පෙබරවාරි 18දා මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ විත්තිකාර නාමල් රාජපක්ෂට අධිචෝදනා පත්‍රය භාරදීම සිදු විය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා රජයේ නිලධාරින් හැර වෙනත් සාක්ෂිකරුවන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන බව අධිකරණයට දන්වන ලදි.

ඒ අනුව සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කළ අතර රුපියල් ලක්ෂයක සහ මිලියන 10ක ශරීර ඇප 2ක් මත චූදිත මුදාහැරීම සිදු විය.

විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ ඊයේ (27දා) නැවත නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකරු අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලදි. එහිදී විනිසුරුවරයා අධිකරණය අමතමින් නඩු විභාගය පිළිබඳ සමාජ මාධ්‍යයේ පළව තිබූ පුවතක් පිළිබඳ අවධානය යොමුකර සිටියේය.

සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන විදේශගත මාධ්‍යවේදින් පළකළ පුවතක් ගෙනහැර දැක්වූ විනිසුරුවරයා ඉන් නඩු විභාගය පිළිබඳ යම් දුර්මතයක් සමාජගතව තිබෙන බව කියා සිටියේය. තමන් එය පිළිනොගත්තද සාධාරණ නඩු විභාගයක අවශ්‍යතාව වෙනුවෙන් නඩුව වෙනත් විනිසුරුවරයකුට යොමු කරන බව කියා සිටියේය.

එසේම එම ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇත්තේදැයි විමසා බැලීමට අධිකරණ සේවා කොමිසමට දන්වා ඇති බවත් කියා සිටියේය.

විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ සුළු වේලාවකට පසු නඩුව කැඳවූ අතර පෞද්ගලික හේතුවක් මත තමන්ද එම නඩු විභාගයෙන් ඉවත් වන බව දන්වා සිටියේය.

ලබන මැයි 21දා නඩුව කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා මෝසමක් අනුව එදිනට ප්‍රථම නඩුව කැඳවුවහොත් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස විත්තිකරුට අවවාද කළේය. එදින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක සේනාධීර සාක්ෂි දීමට නියමිතය.

රග්බි තරගාවලියක් පැවැත්වීම සඳහා 2012 වසරේ ඔක්තෝම්බර් 15දා සහ 2013 වසරේ ඔක්තෝම්බර් 14දා අතර කාලය තුළදී රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා වන්නකුවත්ත වඩුගේ දොන් නිමල් හේමසිරි පෙරේරා යන අය මාර්ගයෙන් රුපියල් මිලියන 70ක මුදලක් ගෙන සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ චූදිතට එරෙහිව චෝදනා ගොනු කරන ලදි.

මෙම නඩුව ගොනුකර ඇත්තේ Òදූෂණ විරෝධී හඬÓ සංවිධානය වෙනුවෙන් වත්මන් වෙ‍ෙළඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිසක් 2016 වසරේදී පොලිස්පතිවරයා වෙත කළ පැමිණිල්ලක් අනුවය.

විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙනී සිටියහ.

චන්දන ජයවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT