Home » චාමර රිමාන්ඩ්
එකම දා නඩු 3ක්:

චාමර රිමාන්ඩ්

දෙකකින් ඇප / එකකින් ඇතුළට

by sachintha
March 28, 2025 4:00 pm 0 comment

ජාතික ඉතිරිකිරීම් බැංකුවේ බදුල්ල ශාඛාවේ කල්පිරීමට තිබූ ඌව පළාත් සභාවට අයත් ස්ථිර තැන්පතු ගිණුම් ඉවත් කරගෙන රජයට ලක්ෂ 173ක පාඩුවක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අප්‍රේල් 1දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (27) නියෝග කළාය.

ඌව පළාත් සභාවට අයත් පෙර පාසල් දරුවන්ට පාසල් බෑග් ලබා දෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා බදුල්ල ජාතික ඉතුරු කිරීම් බැංකුවෙන් අරමුදලක් ලබාදෙන ලෙසට ඉල්ලා සිටියද එම බැංකුව මඟින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙලෙස කල් පිරීමට නියමිතව තිබූ ස්ථිර තැන්පතු ඉවත් කරගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරිණි.

ඊයේ (27) උදෑසන අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබුණි.

2016 වර්ෂයේ සමන්ත විද්‍යාරත්න මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව බී වාර්තා 3ක් යටතේ චෝදනා ගොනුකර තිබුණි.

ඌව පළාතේ පෙර පාසල් දරුවන්ට පාසල් බෑග් ලබා දෙන බව පවසමින් එම පළාත් සභාවට අයත් රුපියල් මිලියන 26කට ආසන්න මුදලක් චාමර සම්පත් දසනායක පදනමට බැර කළ බව කියන සිද්ධියක් මෙම සැකකරුට ශරීර ඇප සහ මුදල් නියම විය.

ඌව පළාතේ පෙර පාසල් දරුවන්ට පාසල් බෑග් ලබා දෙන බව පවසමින් එම පළාත් සභාවට අයත් බදුල්ල ලංකා බැංකුව මඟින් ලබාගත් ලක්ෂ 10ක මුදල චාමර සම්පත් දසනායක පදනමට බැර කරගැනීම, මහජන බැංකුවේ තිබුණු ලක්ෂ 25ක අරමුදලක් චාමර සම්පත් දසනායක පදනමට බැර කරගැනීම සහ ජාතික ඉතුරු කිරීම් බැංකුවේ අරමුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී සැකකරුට ලබා නොදීම හේතුවෙන් කල්පිරීමට නියමිතව තිබූ ස්ථාවර ගිණුම් කල්පිරීමට පෙර ඉවත් කරගෙන රජයට ලක්ෂ 173ක පාඩුවක් සිදුකිරීම යන චෝදනා 3 යටතේ නඩු ගොනුකර තිබුණි.

සිද්ධියට අදාළ පළමු චෝදනාව සඳහා මිලියන 5 බැගින් ශරීර ඇප 2ක් සහ මුදල් ඇප පනස්දාහක්ද, දෙවැනි චෝදනාව සඳහා මිලියනය බැගින් වූ ශරීර ඇප 3ක්ද, මුදලින් පනස්දසක්ද නියම වූූ අතර තුන්වැනි චෝදනාව සඳහා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරිණි.

මෙම සිද්ධියට අදාළව පොදු දේපළ පනත යටතේ වරදක් අනාවරණය වී තිබේ නම්, ඒ පිළිබඳ විමර්ශනය කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළාය.

සිද්ධියට අදාළ ඇප ලබාදුන් චෝදනා සඳහා මෙම සැකකරු සඳහා විදේශ ගමන් බලපත්‍ර තහනම් කරන ලෙසටද අධිකරණයේ නියම විය.

සම්බන්ධයෙන් කරුණු දැක්වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීති සුලෝචනා මහත්මිය අධිකරණයට පවසා සිටියේ,

“ස්වාමීනි , මෙම සැකකරු මෙම චෝදනාවලට සම්බන්ධ වන්නේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා සිටින කාලයේදී එනම් 2016 වර්ෂයේ මාර්තු මාසයේ 16 වැනි දින සමන්ත විද්‍යාරත්න මහතා කරන ලද පැමිණිල්ලකට අනුවයි.

පෙර පාසල් දරුවන් පළමු වසරට යන්න බෑග් ලබා ගැනීමට ලංකා බැංකුවෙන් ලක්‍ෂ දහයක් සහ මහජන බැංකුවෙන් ලක්ෂ විසිපහක මුදලක් ලබාගෙන එය චාමර සම්පත් දසනායක යන පදනමට බැර කර තිබෙනවා.

පොදු දේපළ පනත යටතේ පළාත් සභාවට ලැබෙන මුදල් හෝ යම්කිසි ත්‍යාගයක් තමාගේ ගිණුම්වලට බැර කරගැනීම නීති විරෝධී බවත් එය දඬුවම් ලැබිය හැකි වරදක්. ස්වාමීනි රාජ්‍ය බැංකුවේ මුදල් යනු පොදු දේපළක් සැකකරු මෙලෙස ක්‍රියා කිරීම පොදු දේපළ පනතේ 5 වැනි වගන්තිය කඩ කිරීමක්. සැකකරුගේ ගිණුමට බැර කරගැනීම මඟින් රජයට විශාල අලාභයක් සිදුකර තිබෙනවා ඒ පිළිබඳ වැඩිදුර විමර්ශනන පවත්වනවා. දූෂණ විරෝධී පනතට අනුව මෙම චෝදනා අනුව අත්අඩංගුවට ගත් බව සඳහන් කරනවා.” යනුවෙනි.

සැකකාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණය පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කරනු ලැබුවේ,

“2016 වර්ෂයේ කරන ලද පැමිණිල්ලකට අනුව 2019 වර්ෂයේ මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගෙන අවුරුදු ගණනකට පසුව 2025 අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බවත්, මෙම සිද්ධිය අවුරුදු 9ක කාලයක් විමර්ශනය කර නොමැති බවත්, චෝදනා තුන එක බී වාර්තාවකට ගොනු නොකර නඩු ගොනු තුනක් යොමු කරන්නේ කෙසේ හෝ තම සේවාදායකයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බවය.”

එම අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් තනූජා ලක්මාලි මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරින්ගෙන් එම අවධිය තුළ විමර්ශන කටයුතු සිදු වූවාද යැයි ප්‍රශ්න කරනු ලැබීය.

එහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් අධිකරණය පෙනීසිටි සුලෝචනා මහත්මිය කියා සිටියේ,

“ස්වාමීනි, මෙම සිද්ධියට අදාළව සාක්ෂි ලබාදීමට සාක්ෂිකරුවන් මැලිකමක්දක්වනවා වගේම බයයි. මෙම සැකකරු බදුල්ල දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙක්, සාක්ෂි ලබාදීමටත් තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ පදිංචි සාක්ෂිකරුවන්ට.

එම නිසා ඔවුන්ට ප්‍රකාශ ලබාදීමට අකමැතියි. මේ වනවිට 75 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. ස්වාමීනි ඌව පළාත් සභාවේ ප්‍රාදේශීය පෙරපාසල් වෙත පෙර පාසල් දරුවන්ට පාසල් බෑග් ලබාදීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර තිබෙනවා, එහිදී ඔවුන් පැවසුවේ චාමර සම්පත් දසනායක මහතා එම තියාග ලබාදීමේ උත්සවවලට සහභාගි වී තිබෙනවා නමුත් ඔහුගේ අරමුදලකින් එම පාසල් බෑග් ලබා නොදුන් බවය, රජයෙන් ලද ආධාර අනුව ප්‍රාදේශීය සභා හරහා පෙර පාසල් දරුවන්ට එම තියාග ලැබී ඇති බව එම ප්‍රකාශ අනුව තහවුරු වී තිබෙනවා.”

“ස්වාමීනි මහජන බැංකුවේ නියෝජ්‍ය කළමනාකාරතුමා ප්‍රකාශ සටහන් කිරීමේදී බලපෑමක් කර තිබූ බව සඳහන් කර තිබුණා. මෙම සැකකරුට ඇප ලබා දීම විමර්ශනයට කරන බාධාවක් එම නිසා රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා නියෝගයක් ලබා දෙන්නේ යයි මම ඉල්ලනවා” යනුවෙන් පැවසීය.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කරනු ලැබුවේ, ජාතික ඉතුරු කිරීම් බැංකුවෙන් ලබා ගන්නා ලද මුදල් තම සේවා දායකයා අවභාවිතා නොකළ බවත් බදුල්ල දිස්ත්‍රික්කයේ භූගත රථ වාහන මධ්‍යස්ථානයක් සෑදීමට සහ ඇල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවක් ගොඩනැගීමට එම මුදල් භාවිත කළ බවය.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ අල්ලස් හෝ දූෂ්‍ය චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් සඳහන් කරනු ලැබුවේ, ලංකා බැංකුවේ සහ මහජන බැංකුව එහි පවතින ගිණුම් ඉවත් ඉවත් කර ගනිති යැයි යන බියෙන් එම ආධාර මුදල ලබා දුන් බවත්, ජාතික ඉතුරු කිරීමේ බැංකුව ලබාදීමට ප්‍රතික්ෂේප කිරීම නිසා කල් පිරීමට තිබූ ස්ථිර තැන්පතු ඉවත් කරගෙන රජයට විශාල පාඩුවක් කර ඇති බවය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ රජයට අයත් කිසිදු ස්ථාවර තැන්පතු ගිණුමක් කල් පිරීමට පෙර ඉවත් කරගෙන රජයට පාඩු වන ආකාරයේ ක්‍රියා සිදුකිරීමට අවස්ථාව ලබා නොදී තිබෙන බවත් එම ලබාගන්නා ලද මුදල් අවභාවිතා කර තිබෙන බවට ද පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂ නීති සුලෝචනා මහත්මිය අධිකරණයට කරුණු දැක්වීය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විමර්ශනයට බාධා වන අයුරින් සාක්ෂිකරුවන්ට බාධා ඇති තිබෙන බව පවසා සැකකරු ලබන 1 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් ඉදිරි විමර්ශන වාර්තාවක් ලබන 1 දිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අල්ලස් හෝ චෝදනා විමර්ශන කොමිසමට නියෝග කළාය.

කල්පනි අබේසිංහ

ඡායාරූපය ශාන් රූපස්සර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT