Home » නීති විරෝධීව ධීවර කටයුතු කළ 57කට වැඩ වරදී

නීති විරෝධීව ධීවර කටයුතු කළ 57කට වැඩ වරදී

by sachintha
March 28, 2025 4:42 pm 0 comment

නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර මසුන් ඇල්ලීම, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සහ නීති විරෝධි ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 57ක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිව තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල සහ ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව මුලතිව් නන්දිකඩාල් කලපුව, ත්‍රිකුණාමලය කොඩ්බේ, ඉච්චලම්පත්තු, කල්කුඩා, කෝකිලායි, පොතුවිල් සහ කින්නියා ගොඩබිම වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පසුගිය 08 වැනිදා සිට මේ දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මෙම පුද්ගලයින් සමඟ නීති විරෝධී උගුල් දැල් එකසිය හතළිස් හතක් (147), නීති විරෝධී ට්‍රැමල් දැල් එකසිය හැත්තෑ දෙකක් (172), මොනොෆිලමන්ට් දැල් තුන්සිය පහක් (305), පර්සින් නෙට් හයක් (06), මුහුදු කූඩැල්ලන් දෙදහස් හාරසිය විසි අටක් (2428), කැබ් රථ තුනක් (03), ත්‍රිරෝද රථයක් (01), අත් ට්‍රැක්ටරයක් (01), ඩිංගි යාත්‍රා නවයක් (09), ට්‍රෝලර් යාත්‍රාවක් (01) සහ කුඩා යාත්‍රා හතරක් (04) ද නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

නැඟෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික ගෝඨාභය ආයතනය 2025 මාර්තු මස 08 වැනි දින සිට 19 වැනි දින දක්වා මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය සමඟ සම්බන්ධීකරණය වී මුලතිව් නන්දිකඩාල් කලපු ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, 09 වැනි දින නාවික ලංකාපටුන ආයතන මඟින් ලංකාපටුන ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී, 09 වැනි දින සිට 21 වැනි දින දක්වා නාවික මහවැලි ආයතනය මඟින් යාඩ් කෝව්, ෆ්ලෑග් ස්ටෆ් පොයින්ට් සහ චැපල් අයිලන්ඩ් මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, 14 වැනි දින නාවික කාශ්‍යප ආයතනය, වාලච්චේන පොලීසිය හා එක්ව කල්කුඩා ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී 15 වැනි දින විජයබා ආයතනය ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, 16 වැනි දින නාවික වළගම්බා ආයතනය මඟින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සහ 17 වැනි දින ගෝකණ්න ආයතනය ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය හා එක්ව ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ධීවර කටයුතු සිදු කළ ධීවරයින් සහ ඊට සම්බන්ධ වාහන, යාත්‍රා හා ධීවර ආම්පන්න තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම මාර්තු මස 08 වැනි දින උතුරු මැද නාවික විධානයේ නාවික ගජබා ආයතනය සහ මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය සමඟ සම්බන්ධීකරණය වී මන්නාරම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මස 10 වැනි දින උතුරු නාවික විධානයට අයත් නාවික වේළුසුමන ආයතනය පල්ලේකුඩා ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, 18 වැනි දින ගිනිකොන නාවික විධානයට අයත් මහානාග ආයතනය මඟින් පොතුවිල් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, 20 වැනි දින වයඹ නාවික විධානයට අයත් ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලගණය මඟින් ජමාලියා මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුහුදු කූඩැල්ලන් සහ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් සමඟ ඩිංගි යාත්‍රාවක්, අත් ට්‍රැක්ටරයක් සහ කැබ්රථ දෙකක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා, කැබ් රථ, අත් ට්‍රැක්ටරය, ත්‍රීවීලර් රථයක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න ත්‍රිකුණාමලය ධීවර පරීක්‍ෂක කාර්යාලය, කෝඩ්බේ ධීවර පරීක්‍ෂක කාර්යාලය, මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය, සිලාවතුර ධීවර පරීක්‍ෂක කාර්යාලය, කිලිනොච්චිය ධීවර පරීක්‍ෂක කාර්යාලය, මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය, ඊච්චලම්පත්තු ධීවර පරීක්‍ෂක කාර්යාලය, කුච්චවේලි ධීවර පරීක්‍ෂක කාර්යාලය සහ වාලච්චේන පොලීසිය හා පොතුවිල් පොලීසිය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT