Home » ලේඛක වජිර කස්තුරි යතුරුපැදි අනතුරකින් මරුට

ලේඛක වජිර කස්තුරි යතුරුපැදි අනතුරකින් මරුට

by sachintha
March 28, 2025 4:39 pm 0 comment

ප්‍රකට ලේඛකයකු, තිර කතා රචකයකු සහ ටෙලිනාට්‍ය තිර රචකයකු වන වජිර කස්තුරි මහතා (57) පන්නිපිටිය මොරගහපල්ලම ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබේ.

මාර්තු 26 දා උදෑසන 10.35 ට පමණ පන්නිපිටිය සිට හෝකන්දර දෙසට යතුරුපැදියක ගමන් කරමින් සිටියදී, මොරගහපල්ලම ප්‍රදේශයේදී විදුලි කණුවක සහ දුරකථන කණුවක ගැටී අනතුරට පත් වී ඇති ඒ මහතා, හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යන අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇත.

දෙදරු පියකු වූ වජිර කස්තුරි මහතා සාහිත්‍ය ක්ෂේත්‍රයට දායක වූ කැපී පෙනෙන නිර්මාණකරුවෙකි. ඔහු විසින් නවකතා 10ක් පමණ රචනා කර ඇති අතර, “සඟල වරහන්”, “අනුපෑවත”, “පොල්කිචි ප්‍රේමය” සහ “පඬුරු බඳින ගස්” වැනි ජනප්‍රිය කෘති ඒ අතර වේ.

එමෙන්ම, ඔහු ප්‍රියන්ත කොළඹගේ සමඟ එක්ව “ආදරණීය කතාවක්”, “දේදුණු අහසේ”, “මන්දරා” සහ “සූරිය සුළඟ” යන තිර කතා රචනා කිරීමෙන් ශ්‍රී ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රයටද විශාල දායකත්වයක් ලබා දී ඇත.

කොට්ටාව පොලිසිය සඳහන් කරන පරිදි, කස්තුරි මහතාගේ උපන් දිනයට පසු දින මෙම අනතුර සිදුවී ඇත. ඔහු දුරකථන සහ විදුලි කණු දෙක අතර සිරවී සිටි අතර, ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබුණි.

මෘත දේහය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදු කිරීමට නියමිතය.

පොලිසිය විසින් දැනට සැක කරන්නේ අනතුරට හේතුව නින්ද යාම හෝ යතුරුපැදියේ කාර්මික දෝෂයක් විය හැකි බවයි. මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT