කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ ගලිගමුව පුස්තකාලය ආසන්නයේදී යතුරු පැදියක් පාරෙන් ඉවතට පැන නිවසක බිත්තියක ගැටී බන්ධනාගාර ජේලර්වරයකු පෙරේදා (26) වැනිදා රාත්‍රි මිය ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පැවැසීය.
මෙලෙස මියගොස් ඇත්තේ වරකාපොළ අඹේපුස්ස පුනරුත්ථාපන කඳවුරේ බන්ධනාගාර ජේලර්වරයකු ලෙස සේවය කරමින් සිටි හම්බන්තොට, හුංගම, බට අත ලිපිනයේ පදිංචිව සිටි 43 හැවිරිදි දංදෙනිය ආරච්චිගේ ප්‍රදීප් දිලන්ත නමැති දෙදරු පියෙකි.
මිය ගොස් ඇති බන්ධනාගාර ජේලර්වරයා 2008 වර්ෂයේ බන්ධනාගාර නියාමකවරයකු ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බැඳී දිවයිනේ බන්ධනාගාර ගණනාවක සේවය කර මීට මාස 7කට පමණ ඉහත දී ගාල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට වරකාපොළ අඹේපුස්ස පුනරුත්ථාපන කඳවුරට සේවයට පැමිණ ඇති බවත් පොලිසිය පැවැසීය.
පෙරේදා (26) වැනිදා දහවල් 12.30ට රාජකාරී නිමා කොට 1ට පමණ කෑගල්ල නගරයේ බැංකුවකට යන බව පවසා තවත් ජේලර්වරයකු සමඟ කෑගල්ල නගරයට පැමිණ බැංකු රාජකාරී නිමවා හිතවත් ජේලර්වරයා කොටියාකුඹුර මත්තමගොඩ ප්‍රදේශයේ නිවසට ඇරලවාලීමට ඔහුට අයත් යතුරු පැදියෙන් ගොස් ඇති බවත් පොලිසිය පැවැසීය.
පසුව හිතවතා ඇරලවා ආපසු අඹේපුස්ස පුනරුත්ථාපන කඳවුරට ගමන් කරමින් සිටියදී ගලිගමුව නගරය ආසන්නයේදී යතුරු පැදිය පාරෙන් ඉවතට පැන බිත්තියක ගැටී ජේලර්වරයා තුවාල ලබා 1990 ගිලන් රථයෙන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබුණි. ඒ වන විටත් ජේලර්වරයා මිය ගොස් සිටි බව පොලිසිය පැවැසීය.
මිය ගිය බන්ධනාගාර නියාමකවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ 27 වැනිදා දහවල් කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුචිර නදීර මහතා විසින් සිදු කෙරිණ. පදවමින් ගිය යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන බිත්තියක ගැටී පැදිකරු වැටී මොළයට හානි වීම හේතුවෙන් සිදු වූ හදිසි අනතුරු මරණයක් බවට කෑගල්ල හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය තීන්දු කළාය.
කෑගල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර මාවඩවිලගේ යන නිලධාරින්ගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් බුලත්සිංහල (57308) නිලධාරියා විමර්ශන කටයුතු සිදු කළේය.
කෑගල්ල විශේෂ- චමින්ද ජයලත්