Home » රැඳවූවන්ගේ දඬුවම් ලිහිල් කිරීමේ සිවු වස් සමාලෝචනය යළි හඳුන්වාදීමට සැලසුම්

රැඳවූවන්ගේ දඬුවම් ලිහිල් කිරීමේ සිවු වස් සමාලෝචනය යළි හඳුන්වාදීමට සැලසුම්

-ඇමැති, නීතිඥ හර්ෂණ නානායක්කාර

by sachintha
March 28, 2025 4:47 pm 0 comment

මරණ දඬුවම් සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින රැඳවූවන්ගේ යහපත් කල් ක්‍රියාව, ඔවුන් සිර දඬුවම් විඳින ලද කාල සීමාව, ඔවුන්ගේ පුනරුත්ථාපන කාලය ආදිය පිළිබඳව සොයා බලා දඬුවම් ලිහිල් කිරීමේ සිවු වස් සමාලෝචන ක්‍රමවේදය පවතින නීතිමය ක්‍රමවේදයට අනුව අමාත්‍යාංශ මට්ටමින් නැවතත් හඳුන්වාදීමට සැලසුම් කර තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ කොළඹ වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (27) එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල පවතින ගැටලු පිළිබඳව සොයා බැලීමේදී සිරකරුවන්ට පවතින ගැටලු සහ ඔවුන්ගේ පුනරුත්ථාපන කටයුතු පිළිබඳව සාකච්ඡා කළා. මරණ දඬුවම් සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින රැඳවූවන්ට පවතින ගැටලු පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කළා. ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් දීමට පවතින නීතිවලට අනුව සමාලෝචන ක්‍රමයක් ගෙන ඒමට කටයුතු කරනවා. කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිරකරුවන්ගේ අධික තදබදයක් තිබෙනවා. එම අධික තදබදය සඳහා රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම් සහ පරිපාලනමය ගැටලු බලපා තිබෙනවා. මේ ගැටලු සඳහා කිසිවකුට දොස් පවරන්නේ නෑ. බන්ධනාගාර තදබදය අවම කිරීමට අවශ්‍ය නීතිමය සහ ප්‍රතිපත්ති තීන්දු පිළිබඳව සාකච්ඡා කළා. එම තීන්දු හැකි ඉක්මනින් ගැනීමට කටයුතු කරනවා.

බන්ධනාගාර නිලධාරීන්ට පවතින ජීවිත තර්ජන පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. කළුතර, ගාල්ල, බූස්ස සහ මාතර බන්ධනාගාරවල රාජකාරී සිදු කරන නිලධාරීන්ට පවතින ජීවිත තර්ජන, රාජකාරී කිරීමේදී පවතින අපහසුතා සම්බන්ධව විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. බාධක අපහසුතා රාශියක් මධ්‍යයේ වුවත් බන්ධනාගාර නිලධාරීන් සුවිශේෂි මෙහෙවරක් සිදු කරනවා. ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව මෙන්ම ඔවුන්ට පවතින ගැටලු විසඳීමට උපරිම පියවර ගන්නවා.

මරණ දඬුවම් සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින රැඳවූවන්ගේ යහපත් කල් ක්‍රියාව, ඔවුන් සිර දඬුවම් විඳින ලද කාල සීමාව, ඔවුන්ගේ පුනරුත්ථාපන කාලය පිළිබඳව සොයා බලා දඬුවම් ලිහිල් කිරීමේ සිවු වස් සමාලෝචන ක්‍රමවේදය පවතින නීතිමය ක්‍රමවේදයට අනුව අමාත්‍යාංශ මට්ටමින් නැවතත් හඳුන්වාදීමට කටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා.”

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT