Home » අපරාධ විසඳීමට සුවිශේෂී දායකත්වයක් දක්වන ලද නිලධාරීන් වෙනුවෙන් ත්‍යාග හා පොලිස්පති ප්‍රශංසා

අපරාධ විසඳීමට සුවිශේෂී දායකත්වයක් දක්වන ලද නිලධාරීන් වෙනුවෙන් ත්‍යාග හා පොලිස්පති ප්‍රශංසා

by sachintha
March 28, 2025 4:31 pm 0 comment

අපරාධ විසඳීම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වන ලද නිලධාරීන් වෙනුවෙන් ත්‍යාග හා පොලිස්පති ප්‍රශංසා පිරිනැමීමේ උත්සවයක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මල්ලිකා සූරියප්පෙරුම මහත්මිය සහ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පෙරේදා (26) අපරාධ වාර්තා කොට්ඨාසයේදී පවත්වන ලදි.

මෙම ත්‍යාග හා පොලිස්පති ප්‍රශංසා රාජ්‍ය නිවේදිත නිලධාරීන් 13 දෙනෙකු, පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 100 දෙනෙකු, කාන්තා පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරිනියන් 05 දෙනෙකු, පොලිස් සැරයන් සහ පොලිස් කොස්තාපල්වරුන් 231 ක් දෙනෙකු හා කාන්තා පොලිස් සැරයන් සහ කොස්තාපල්වරියන් 38 දෙනෙකු, පොලිස් සැරයන් රියදුරු සහ කොස්තාපල් රියදුරු නිලධාරීන් 08 දෙනෙකු මෙන්ම යුද හමුදා සහ නාවික හමුදා නිලධාරීන් 113 දෙනෙකු, සිවිල් ආරක්ෂක නිලධාරීන් එක් අයෙකු හා සිවිල් පුද්ගලයින් 06 දෙනෙකු වශයෙන් 515 දෙනෙකු සඳහා පොලිස්පති ප්‍රශංසා ඇතුළු පොලිස් ත්‍යාග අරමුදල මඟින් රුපියල් මිලියන 29 කට අධික මුදලක් පිරිනැමීමට කටයුතු කළේය.

අපරාධ වාර්තා කොට්ඨාසයේදී ත්‍යාගලාභීන් 140 දෙනකු වෙනුවෙන් සංකේතාත්මකව රුපියල් මිලියන 24කට අධික ත්‍යාග මුදලක් හා පොලිස්පති ප්‍රශංසා 25ක් පිරිනමන ලදි.

දවුලගල පොලිස් වසමේදී වෑන් රථයකින් පැමිණි පුද්ගලයින් කණ්ඩායමක් විසින් පාසල් සිසුවියක් පැහැර ගැනීමේ අවස්ථාවේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු විසින් එම සිසුවිය බේරා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දරනු ලැබූ අතර එම පුද්ගලයා විසින් තම ජිවිත අවදානම ගැනද නොතකා සිදු කළ නිර්භීත ක්‍රියාව ඇගයීමට ලක් කරමින් රුපියල් ලක්ෂ 07 ක ත්‍යාග මුදලක් පිරිනැමීම මෙහිදී සිදු විය.

2023.10.05 වන දින කුරුඳුවත්ත පොලිස් වසමේ නිදහස් වටරවුම අසල රථවාහන රාජකාරියේ යෙදී සිටියදී රිය අනතුරට ලක්ව ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ නාගරික රථ වාහන පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන් 19498 ප්‍රියංකර නිලධාරියාගේ මවුපියන් වෙත රුපියල් ලක්ෂ 15ක මුදලක් පිරිනැමීම සිදු කෙරිණි.

2019.03.24 වන දින හික්කඩුව, අකුරල මුහුදු සීමාවේ සිදු කරන ලද ඒකාබද්ධ වැටලීමකදී මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 107 ග්‍රෑම් 22 ක් සමඟ ඉරාන ජාතික සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අදාළව රාජ්‍ය නිවේදිත නිලධාරීන් තිදෙනෙකුට හා නාවික හමුදා නිලධාරීන් 07 දෙනෙකුට පොලිස්පති ප්‍රශංසා පිරිනැමිණි. මෙම වැටලීමට සහභාගී වූ අනෙකුත් නිලධාරීන්ට රුපියල් හතළිස් දෙලක්ෂ තිස් පන්දහසක ත්‍යාග මුදලක් අනුමත වී ඇති අතර ඉන් තිස්ලක්ෂ පනස්දහසක ත්‍යාග මුදලක් පිරිනැමිණි.

2019.07.10 වන දින පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදී කොල්ලුපිටිය පොලිස් වසමේ හෝටල් කාමරයක නවාතැන් ගෙන සිටි පාකිස්තානු ජාතිකයෙකු හෙරොයින් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 860 ක් අත්අඩංගුවට ගැනීමට අදාළව එම නිලධාරීන් 09 දෙනෙකු සඳහා දසලක්ෂ විසිදහසක ත්‍යාග මුදලක් අනුමත වී ඇති අතර ඉන් අට ලක්ෂ හැත්තෑපන්දහසක ත්‍යාග මුදලක් පිරිනැමිණි.

2022.01.04 වැනි දින යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් සීනිමෝදර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 320ක් විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් ඇතුළු නඩු භාණ්ඩ සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අදාළව නිලධාරීන් 08 දෙනෙකු හා යුද හමුදා කෝප්‍රල්වරයෙකු වෙත රුපියල් දොළොස් ලක්ෂ හැත්තෑපන්දහසක ත්‍යාග මුදලක් අනුමත වී ඇති අතර ඉන් හත්ලක්ෂ අසූහත්දහස් පන්සියක ත්‍යාග මුදලක් පිරිනැමිණි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT