Home » යුද හමුදාව පාසැල් 500ක් ක්ලීන් කරයි

යුද හමුදාව පාසැල් 500ක් ක්ලීන් කරයි

by sachintha
March 28, 2025 4:30 pm 0 comment

නිදහසින් පසු ගතවූ වසර 77ක කාලයේ අපේ ඉතිහාසය සුන්දර නැත. විවිධ වූ දේශපාලන ගැටුම්, එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඇති වූ පසුබෑම් සියල්ල හේතුවෙන් එදා මෙන්ම අදත් ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙනි. නමුත් වර්තමානයේ යම් පරිවර්තනයක් සිදු වෙමින් පවතී. ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජයේ සංකල්පයකට අනුව මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම වැඩසටහන වන්නේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනයි. එය දියත් කෙරෙන්නේ ලෝකය ඉදිරියේ සවිමත්ව නැඟී සිටින්නට හැකි දේශයක් අනාගතයට උරුමකර දීම වෙනුවෙනි.

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන තේමාව යටතේ ලොව දියුණු රටවල ජනතාව භුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් උරුම කර දීමේ අරමුණින් Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මකය. මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව සහ ප්‍රගමනය තහවුරු කිරීම තුළින් පරිවර්තනීය මුලපිරීමක් සිදු කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

ලෝකයේ විවිධ රටවල්වල පරිසරය සම්බන්ධව, සෞඛ්‍යය සම්බන්ධව, ආහාර සම්බන්ධව, අධ්‍යාපනය සම්බන්ධව ඇති විවිධ වූ ප්‍රමිතිගත කිරීම් එක් කර නිසි ප්‍රමිතියකට ශ්‍රී ලංකාව ඉහළ තලයකට ඔසවා තැබීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේදී සිදු කෙරේ.

සාමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් මඟින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සැලසුම් කිරීම, මෙහෙයවීම සහ ක්‍රියාත්මක කිරීම ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බළකාය වෙත පවරා තිබේ.

වචනාර්ථය පමණක් සැලකුවහොත්, මෙයින් අදහස් වන්නේ භෞතික ලෙස පිරිසිදු ශ්‍රී ලංකාවක්. එහෙත්, මෙම තේමාවෙන් රජය අපේක්ෂා කරන්නේ ඊට වඩා පුළුල් පිරිසිදු කිරීමක් ගැන බව පැහැදිලිය. දශක ගණනකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව ලංකාව භෞතිකව බොහෝ පිරිසිදු තැනක් වුවත්, කිසිසේත්ම මේ අතින් අංග සම්පූර්ණ තැනක් බවට පත්වී නැත. දැනට පවතින තත්ත්වය තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා රජයේ මෙන්ම සමස්ත ජනතාවගේ ආකල්පමය වෙනසක් සිදු කිරීම අත්‍යවශ්‍ය වී ඇත.

මේ ආකල්පමය වෙනස්කම් ඇති කිරීමේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය ජාතික වගකීම ඉටුකිරීමට ඉදිරිපත් වී සිටියි.

මෙහිදී ‘ක්ලීන් ශ්‍රි ලංකා’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක පාසල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය නොකඩවා ලබාදෙමින් පාසල් දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියට අදාළව දිවයින පුරා තෝරාගත් පාසල් වෙත මේ වනවිට ආරක්ෂක සේනා මූලස්ථාන අධීක්ෂණය යටතේ 14500කට අධික යුද්ධ හමුදා භට පිරිසක් යොමුකර ඇත.

යුද්ධ හමුදා භට පිරිස්වල තාක්ෂණික සහාය හා ශ්‍රම දායකත්වයෙන් පාසල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ වූ 2025 පෙබරවාරි මස 20 දින සිට 2025 මාර්තු 20 දක්වා දිවයින පුරා තෝරාගත් පාසල් 1000ක් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ යුද්ධ හමුදාව වෙත පවරන ලද පාසල් 500ක ප්‍රතිසංස්කරණ කටයුතු මසක් ඇතුළත සම්පූර්ණයෙන්ම අවසන්කර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍යව තිබූ පාසල් ගොඩනැඟිලි 300කට ආසන්න ප්‍රමාණයක වහල අලුත්වැඩියා කිරීම, තීන්ත ආලේප කර පිළිසකර කිරීම හා පාසල් තුළ විනාශ වී තිබූ වැටමායිම් සකස් කිරීම, පාසල් වෙත පිවිසුම් මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම භාවිතයට නුසුදුසු තත්ත්වයේ තිබූ ඩෙස්පුටු 5500කට ආසන්න ප්‍රමාණයක් අලුත්වැඩියා කිරීම ද සිදු කරන ලද අතර, මේ සඳහා 15,000කට ආසන්න යුද්ධ හමුදා භටපිරිසකගේ තාක්‍ෂණික සහාය සහ ශ්‍රමදායකත්වය ලබා දී ඇත.

දිලංක ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT