Home » නාගරික සනීපාරක්ෂක හා ජල අපවහන ගැටලු විසඳීමට ක්ෂණික ප්‍රතිපත්තිමය මැදිහත්වීම අවශ්‍යයි

නාගරික සනීපාරක්ෂක හා ජල අපවහන ගැටලු විසඳීමට ක්ෂණික ප්‍රතිපත්තිමය මැදිහත්වීම අවශ්‍යයි

-මාර්ග පර්යේෂණ ආයතනයේ නිලධාරීහු පවසති

by sachintha
March 28, 2025 4:01 pm 0 comment

ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල වර්ධනය වන සනීපාරක්ෂක හා ජල අපවහන ගැටලු විසඳීම සඳහා ක්ෂණික ප්‍රතිපත්තිමය මැදිහත්වීම අවශ්‍ය බව මාර්ග පර්යේෂණ ආයතනයේ නිලධාරීහු පැවසූහ.

සෝලිස් හෝටලයේදී පෙරේදා (26) පැවැති මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව කීහ.

සනීපාරක්ෂක හා ජල අපවහන ගැටලු පිළිබඳ සිදු කරන ලද පර්යේෂණයක නිගමනය හා නිර්දේශ සම්බන්ධයෙන් කරුණු එළිදැක්වීම සඳහා මේ මාධ්‍ය හමුව පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන මාර්ග පර්යේෂණ ආයතනය මෙරට ජනතාවට බලපාන තීරණාත්මක ගැටලුවක් වන ජලය, සනීපාරක්ෂාව හා සනීපාරක්ෂක පුරුදු සම්බන්ධයෙන් දීර්ඝකාලීනව පර්යේෂණ සිදු කර තිබේ.

දශක ගණනාවක් තිස්සේ සංවර්ධන ක්‍රියාවලින් සිදු කළද ග්‍රාමීය හා අවම පහසුකම් සහිත නාගරික ප්‍රදේශවල ප්‍රජාවන් දහස් ගණනක් තවමත් පිරිසිදු ජලය ලබා ගැනීම සඳහා අපහසුතාවයන්ට මුහුණ දෙන බවද මෙහිදී නිලධාරීහු පවසා සිටියහ.

ප්‍රමාණවත් නොවන සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්ෂිත නොවන තත්ත්වයන් මධ්‍යයේ ඔවුන්ගේ ජීවිත ගෙවීමට සිදුව ඇත. ආර්ථික පසුබෑම හේතුවෙන් මෙම අභියෝග තවත් වැඩි වී ඇති අතර යටිතල පහසුකම් සංවර්ධනය වෙනස් කරන ආයෝජන සීමා වී තිබේ. එමෙන්ම අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය සඳහා පවුල්වලින් කරන වියදම් ද අඩුවී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජලයෙන් බෝවන රෝග වැඩිවීමෙන් ඵලදායිතාව අඩුවීම හා සමාජ අසමානතාවය වර්ධනය වීම දක්නට ලැබේ.

මේ හේතු සැලකිල්ලට ගෙන මාර්ග පර්යේෂණ ආයතනය ශ්‍රී ලංකාවේ නාගරික පහළ මධ්‍යම ආදායම් ලබන ප්‍රජාවන්ට ප්‍රමාණවත් නොවන ජල අපවහන හා අපජල කළමනාකරණය නිසා සිදුවන ආර්ථික බලපෑම් පිළිබඳ මෙම පර්යේෂණයේදී අවධානය යොමු කර තිබේ.

දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි මෙවැනි පර්යේෂණයක් සම්බන්ධයෙන් කළ මෙරට පළමු අධ්‍යයනය මෙය වීම විශේෂත්වයකි.

සැලසුම් රහිත නාගරීකරණය හේතුවෙන් සනීපාරක්ෂක හා ජල අපවහන ගැටලු වැඩි වී තිබෙන බවත් නිතර සිදුවන ගංවතුර තත්ත්වයන්, ජලය එකතැන පල්වීම සහ අකාර්යක්ෂම අපද්‍රව්‍ය බැහැර කිරීම් එයට හේතුව බවත් දිස්ත්‍රික්ක 25න්ම වැඩිම පීඩාවට පත්ව සිටින්නේ ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල ජනතාව බවත් මෙහිදී හෙළිව තිබේ.

දුලක්ෂි උඩගෙදර

ජායාරූප – සුදත් නිශාන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT