Home » සාමයේ පණිවුඩය යදින ගිනියම් ගාසා තීරය

සාමයේ පණිවුඩය යදින ගිනියම් ගාසා තීරය

by sachintha
March 28, 2025 4:00 pm 0 comment

දිනෙන් දින වර්ධනය වන්නාවූ ඊශ්‍රායල – පලස්තීන ගැටුම වර්තමානයේ ඉතා විනාශකාරී වාතාවරණයක් බවට පත්ව ඇත. එයින් දහස් ගණන් ජීවිත විනාශ වෙමින් පවතියි. ගාසාහි යුද ගැටුමෙහි කාලීන තොරතුරු මෙන්ම මේ සඳහා ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද ක්‍රියා කළ යුතු ආකාරය ආදී බොහෝ කරුණු පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ කථිකාචාර්ය අංජලී තෙන්නකෝන් මහත්මිය සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකසිණ.

ඊශ්‍රායල හමුදා මෙහෙයුම් තවදුරටත් තරවන විට ගාසාහි තත්ත්වය දරුණු අතට හැරී ඇත. ඉකුත් 18 දින ඊශ්‍රායලය නව ප්‍රහාරයක් දියත් කළ අතර, එහි විපාක ලෙස දැඩි විනාශයක් සහ අතිශය අවතැන්වීමක් සිදුවිය. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, 2023 ඔක්තෝබර් 7 වැනි දින සිට මේ දක්වා මියගිය තැනැත්තන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇති අතර තවත් බොහෝ දෙනකු තුවාල ලබා තිබේ. එසේම තවත් සැලකිය යුතු පිරිසක් අතුරුදන් වී ඇත. එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (UNOCHA) වාර්තා කරනු ලබන්නේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම හේතුවෙන් මෑත සති කිහිපය තුළ පලස්තීනුවන් 142,000කට අධික පිරිසක් අවතැන් වී ඇති බවයි. සටන් විරාමයක් සඳහා කළ ජාත්‍යන්තර ඉල්ලීම් නොතකා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ප්‍රකාශ කර ඇත්තේ හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළහොත් හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

ගාසාව පාලනය කරන්නේ, ඊශ්‍රායලය සමඟ උරණ වී සිටින ඉස්ලාමීය කණ්ඩායමක් වන හමාස් සංවිධානය යි. එය එක්සත් රාජධානිය ඇතුළු තවත් රටවල් විසින් ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර ඇත.

2006 දී හමාස් පලස්තීනුවන් අවසන් මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අතර, ඊළඟ වසරේ දී, බටහිර ඉවුර පදනම් කර ගත් ජනපති මහමුද් අබ්බාස්ගේ ප්‍රතිවාදී ෆාටා ව්‍යාපාරය නෙරපා හැරීමෙන් ගාසා තීරයේ පාලනය ලබාගත්තේ ය.

එතැන් සිට ගාසාහි සටන්කාමීන් ඊශ්‍රායලය සමඟ යුද්ධ කිහිපයක පැටලී ඇත. හමාස් සංවිධානය හුදෙකලා කිරීමේ ප්‍රයත්නය මෙහිදී කැපී පෙනෙන්නකි. විශේෂයෙන්ම ඊශ්‍රායල නගර දෙසට වගවිභාගයකින් තොරව රොකට් ප්‍රහාර එල්ල කිරීම නැවැත්වීමේ උත්සාහයක් ලෙස ඊශ්‍රායලය, ඊජිප්තුව හා එක්ව ගාසා තීරයේ අර්ධ අවහිරයක් පවත්වාගෙන ගොස් තිබේ. මේ එක් නිදසුනකි.

ප්‍රාණ ඇපකරුවන්ගේ අර්බුදය

එසේම, ඊශ්‍රායලයේ සීමා කිරීම් ද, දැඩි ජනාකීර්ණ ප්‍රදේශවලට ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර ද සාමූහික දඬුවමක් බව ගාසාහි පලස්තීනුවන් පවසයි. ඊශ්‍රායලය ගාසා තීරයේ විදුලි බලය විසන්ධි කර, එම ප්‍රදේශය තුළට ජලය, ආහාර, ඖෂධ හා ඉන්ධන සැපයුම ද දැඩි සේ සීමා කර තිබේ. මේ ආකාරයෙන් ඊශ්‍රායලය, පලස්තීනුවන් අතර යුද තත්ත්වයන් වර්ධනය වීමට ප්‍රධාන වූ කරුණු කිහිපයක් බලපායි. එහිදී අත්පත්කර ගෙන ඇති බටහිර ඉවුරේ පිහිටි යුදෙව් ජනාවාස පැවතිය යුතු ද, නැතහොත් ඉවත් කළ යුතු ද යන කරුණ ප්‍රධානව පවතියි. ඊට අමතරව දෙපාර්ශ්වය විසින් ජෙරුසලම බෙදාගත යුතු ද යන්නත් ඊශ්‍රායලය පසෙකින් පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කළ යුතු ද යන්නත් විවාදාපන්න කරුණුය.

ප්‍රාණ ඇපකරුවන්ගේ අර්බුදය නොවිසඳී ඇත්නම් ගාසාහි ඇතැම් කොටස් අත්පත් කරගත හැකි බව ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් රායල් කැට්ස් (Israel Katz) ද යෝජනා කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සහ ඊජිප්තුව සහ කටාර් වැනි කලාපීය ක්‍රියාකාරිකයන් රාජ්‍යතාන්ත්‍රික විසඳුම් සඳහා දිගින් දිගටම රැගෙන යමින් සිටින නමුත්, මේ දක්වා එහි එතරම් ප්‍රගතියක් ලැබී නොමැත.

සැබැවින්ම, මේ කුරිරු යුද්ධයෙන් වඩාත්ම අවදානමට ලක්වූයේ ළමුන්ය. යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා පලස්තීන ළමුන් 15,600කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා පෙන්වා දෙයි. මාර්තු 18 වැනි දින පමණක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ළමුන් 174කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය. ‘සේව් ද චිල්ඩ්රන්’ (Save the Children) සහ යුනිසෙෆ් (UNICEF) වැනි සංවිධාන මේ ප්‍රහාරය දිගින් දිගටම හෙළාදකිමින්, වහාම මානුෂීය සහන අවශ්‍ය බවත් එදිරිවාදීකම් නතර කරන ලෙසත් ඉල්ලා සිටියි.

එපමණක් නොවේ, කායික හානිවලින් ඔබ්බට, ගාසාහි ළමුන් විඳින මානසික කම්පනය අපරිමිතය. බොහෝ දෙනෙකුට ඔවුන්ගේ පවුල්, නිවාස සහ පිරිසුදු ජලය, ආහාර සහ වෛද්‍ය ප්‍රතිකාර වැනි මූලික අවශ්‍යතා සඳහා ප්‍රවේශය අහිමි වී ඇත. පාසල් සහ රෝහල්වලට දැඩි හානි සිදුවී ඇති අතර, දරුවන්ට අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් බොහෝ ලෙස අහිමි වී තිබේ. පලස්තීන දරුවන්ගේ මුළු පරම්පරාවම හැදී වැඩෙන්නේ භීතිය, අහිමිවීම සහ අපේක්ෂා භංගත්වයේ පරිසරයක බවත්, ඔවුන්ගේ යහපැවැත්මට සහ කලාපයේ අනාගත ස්ථාවරත්වයට දිගුකාලීන ප්‍රතිවිපාක ඇති බවත් විශේෂඥයෝ අනතුරු අඟවති.

මේ ඛේදවාචකය නිමා කිරීමට සාම සාකච්ඡා පැවැත්වීමට නොයෙකුත් උත්සාහයන් දැරුව ද, ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම තවමත් නොවිසඳී පවතියි. මෙහිදී ඊජිප්තුව, කටාර් සහ එක්සත් ජනපදය මැදිහත්වීමේ උත්සාහයන් ද සාර්ථක වී නොමැත. ඊශ්‍රායලය හමාස්හි පූර්ණ නිරායුධකරණය ඉල්ලා සිටින අතර, හමාස් සංවිධානය අවධාරණය කරන කොන්දේසි ඉදිරියේ තවමත් එය මතවාදමය තත්ත්වයේම පවතියි.

මේ ප්‍රතිවිරුද්ධතා මත පොදු භූමියක් සොයා ගැනීම දුෂ්කර වී ඇති අතර, සාම ප්‍රයත්න බිඳ වැටීමට සහ අඛණ්ඩ ප්‍රචණ්ඩත්වයට එය තුඩු දී ඇත. මහමුද් අබ්බාස් (Mahmoud Abbas) යටතේ පලස්තීන අධිකාරිය ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා ඇතත් දෙපාර්ශ්වය අතර පවතින ගැඹුරු අවිශ්වාසය නිසා සාකච්ඡා දියත් කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇත. රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන් අසාර්ථක වීම නිසා හමුදා මෙහෙයුම් වැඩි වී ඇති අතර එමෙන්ම අඛණ්ඩ මානුෂීය අර්බුදයක් ද ඇති වී තිබේ. මේ නොවිසඳුණු ගැටුමේ දිගුකාලීන ප්‍රතිවිපාක පිළිබඳ රතු එළි මතු වී ඇත.

මෙලෙස දිගින් දිගටම පවතින යුද්ධය, ඊශ්‍රායලය සහ පලස්තීනය යන දෙපාර්ශ්වයටම විනාශකාරී ආර්ථික හා දේශපාලන ප්‍රතිවිපාක ගෙන දී ඇත. ගාසාහි යටිතල පහසුකම් හානි ඩොලර් බිලියන ගණනක් ඉක්මවනු ඇතැයි ගණන් බලා ඇති අතර එමඟින් කලාපය නිරතුරුවම දරිද්‍රතාවට ලක්වේ. ඊශ්‍රායලය විසින් පනවා ඇති අවහිරය මානුෂීය අර්බුදය වඩාත් උග්‍ර කර ඇති අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ වෛද්‍ය සැපයුම් සඳහා ප්‍රවේශය ද සීමා කර ඇත.

එලෙසම මෙහිදී ඊශ්‍රායලය දෙසින් ගත් කල, යුද්ධය ද දරුණු ආර්ථික ප්‍රතිවිපාක වලට මුහුණ දී ඇත. ආරක්ෂක වියදම් අහස උසට නැඟ ඇති අතර, ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය ද පහත වැටී තිබේ. ඊශ්‍රායල රජය අභ්‍යන්තර දේශපාලන කැලඹීමකට මුහුණ දී සිටින අතර, යුද්ධය අවසන් කරන ලෙසත්, ප්‍රාණ ඇපකරුවන් ආරක්ෂිතව ආපසු ලබා දෙන ලෙසත් ඉල්ලා විරෝධතා වර්ධනය වෙමින් පවතියි.

ගෝලීය හවුල්කාරීත්වය

මේ අතර නෙතන්යාහුගේ නායකත්වය දැඩි පීඩනයකට ලක්ව තිබේ. ගැටුම් පාලනය කිරීම පිළිබඳ අතෘප්තිය මධ්‍යයේ කල් ඇතිව මැතිවරණයක් පැවැත්විය යුතු බවට ඉල්ලීම් වැඩි වෙමින් පවතියි. එසේම, මේ හේතුවෙන් ඊශ්‍රායලය අනෙකුත් රටවල් සමඟ පවතින රාජ්‍යත්‍රාන්ත්‍රික සබඳතා ද අඩාළ වී ඇත. අමෙරිකාව දිගින් දිගටම ඊශ්‍රායලයට හමුදාමය වශයෙන් සහාය දක්වන අතර, යුරෝපීය ජාතීන් සහ ගෝලීය සංවිධාන වහාම සටන් විරාමයක් සඳහා බල කරමින් සිටී. දීර්ඝකාලීන යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලය ජාත්‍යන්තර තලයේ හුදෙකලා වීමේ අවදානමක් පවතියි. එහි ආර්ථිකයට සහ ගෝලීය හවුල්කාරීත්වයට තවදුරටත් බලපෑම් එල්ල වේ.

සැබැවින්ම මේ ගෝලීය උණුසුම්කාරී වාතාවරණය තුළ ශ්‍රී ලාංකිකයන් වශයෙන්, කලාපයේ සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් පෙනී සිටින අතරම, මෙරට මානුෂීය ඉදිරි දර්ශනයකින් යුතුව ගාසා ගැටුමට ප්‍රවේශ වීම ඉතා වැදගත් වේ. අවතැන් වූ පලස්තීනුවන්ට වෛද්‍ය සැපයුම්, ආහාර සහ නවාතැන් සපයන සංවිධානවලට සහාය වීමෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ප්‍රයත්නයක් සඳහා දායක විය හැකිය. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන (international NGOs) ගාසාහි සහන කටයුතු සඳහා පරිත්‍යාග භාර ගන්නා බැවින් එය අපහසු නොවේ.

එලෙසම සටන් විරාමයක් සහ සාමකාමී සාකච්ඡා වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකා රජයට සිය රාජ්‍යතාන්ත්‍රික මාර්ග භාවිත කළ හැකිය. තමන්ගේම සිවිල් ගැටුම්වලට මුහුණ දුන් රටක් ලෙස, ශ්‍රී ලංකාවට සංහිඳියාව සහ සාමය ගොඩනැඟීමේ ක්‍රියාදාමයන් පිළිබඳ එම දෙරටට අවබෝධයක් ලබා දිය හැකිය.

තවද ශ්‍රී ලාංකේය මාධ්‍ය විද්වතුන් සහ සිවිල් සමාජ කණ්ඩායම්වලට යුද්ධයේ මානුෂීය බලපෑම පිළිබඳ දැනුම්වත් කිරීම, ජාත්‍යන්තර මැදිහත්වීමක් සහ සාමකාමී විසඳුමක අවශ්‍යතාව අවධාරණය කළ හැකිය. අවසාන වශයෙන් විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන, ඊශ්‍රායලය – පලස්තීන ගැටුම පිළිබඳ සාකච්ඡා හා සම්මන්ත්‍රණ සංවිධානය කළ හැකි අතර, දැනුම්වත් සංවාදයක් පෝෂණය කිරීම සහ ගෝලීය සාම ප්‍රයත්නයකට දායක වීමට අනාගත ප්‍රතිපත්ති සම්පාදකයන් දිරිමත් කිරීම සිදු කළ හැකිය. මේ අනුව ගාසාහි යුද්ධය හුදෙක් කලාපීය අර්බුදයක් නොවේ. එය හදිසි ගෝලීය අවධානය ඉල්ලා සිටින්නකි. ශ්‍රී ලාංකිකයන් ලෙස අප ගැටුමෙන් පීඩාවට පත් අහිංසක සිවිල් වැසියන් සමඟ එකමුතුව පෙනී සිටිය යුතු අතර සාධාරණ හා කල් පවත්නා සාමයක් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. ලේ වැගිරීම් අවසන් කිරීම, අවදානමට ලක්විය හැකි ජනගහනය ආරක්ෂා කිරීම සහ කලාපයේ සාමය හා ස්ථාවරත්වය සහතික කරන රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සඳහා ජාත්‍යන්තර ප්‍රජාව කඩිනමින් සකස් කළ යුතුය.

නිසංසලා කොට්ටගස්වත්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT