Home » ජනතා හිස මත කඩා පාත් වන අරුමැසි සංවර්ධනය

ජනතා හිස මත කඩා පාත් වන අරුමැසි සංවර්ධනය

by sachintha
March 28, 2025 4:00 pm 0 comment

රටක් විසින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන්නේ දිගුකාලීන සංවර්ධන ආයෝජන ලෙස සලකමිනි. ඒවායෙහි උපයෝගිතාව පිළිබඳ ගණනය කරනු ලබන්නේ වර්තමානයට සාපේක්ෂව නොව, අනාගතයට සාපේක්ෂව ය. එනම්: අනාගත සංවර්ධන ඉලක්ක සහ අරමුණු අභිමතාර්ථ සාක්ෂාත් කරගනු පිණිස සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීම සාමාන්‍ය ස්වභාවයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සමස්ත ලෝකයට 21 වැනි ශත වර්ෂය තුළ ළඟා කරගත යුතු සහස්‍රක සංවර්ධන ඉලක්ක සහ අභිමතාර්ථ ලබා දී ඇත්තේ ඒ හේතුවෙනි.

එහෙත් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ සලකා බලන කල අපට ඇති වන්නේ කනගාටුදායක හැඟීමකි. විදේශ රටවලින් අතිවිශාල මූල්‍ය ධනස්කන්ධයක් ණයට ගෙන, ඒවායින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර අවසානයේ ඒවා සුදුඅලි ව්‍යාපෘති බවට පත්ව තිබේ. ඒවායෙන් විනාශ වී ඇත්තේ ජනතා දේපොළ ය.

ඒ පිළිබඳ ආසන්නතම උදාහරණය අසන්නට ලැබුණේ එගොඩඋයන දුම්රිය මගී ගුවන්පාලම හදිසියේ කඩාවැටීම හේතුවෙනි. මෙමඟින් ජීවිත අනතුරු කිසිවක් සිදු නොවුණත්, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනය ඇනහිට පැවතිණි.

මෙලෙස ගුවන්පාලම් කඩාවැටෙන්නේ ඒවායේ ප්‍රමිතියේ ඇති දුර්වලතා හේතුවෙන් බව අමුතුවෙන් කිව යුතු නැත. දේශපාලන බලඅධිකාරිය විසින් තමන්ගේ හිතවතුන්ට මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ලබාදී, ඒවා ගසාකෑමට ඉඩ දී බලා සිටීම පසුගිය කාලයේ පුරුද්දක් බවට පත්ව තිබිණි. එපමණක් නොව, වංචනිකයන්ට දඬුවම් දීමද සිදු නොවූ හෙයින්, ඔවුහු හිතුමතේ කටයුතු කරන්නට වූහ. එනිසා සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමිති තත්ත්වය ඉතා අවම මට්ටමක පැවතිණි. පාලම් ඉදි කිරීමේදී වැලි 16කට සිමෙන්ති 1 යන සූත්‍රය භාවිත කිරීම හේතුවෙන් බොහෝ ව්‍යාපෘති අතරමඟ කඩාවැටිණි. ගෙවුණු කාලයේ ක්‍රියාත්මක වූ ග්‍රාමීය මාර්ග කොන්ක්‍රීට් කිරීමේ ‘ගම නැඟුම’ ව්‍යාපෘතිය අද සොයාගැනීමට වත් නැත. එකල කොන්ක්‍රීට් කරන ලද සියලු පාරවල් අද කැඩී බිඳී ගොසිනි. ඒවායේ නිසි නඩත්තුවක් නැත. ග්‍රාමීය පාලම් ව්‍යාපෘති ද එලෙස ය. මෙලෙස කඩාවැටුණේ ද එසේ ඉදි කරන ලද දුම්රිය මගී ගුවන්පාලමකි.

රටක් සංවර්ධනය කරා ගමන් කිරීමේදී ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය, සෞඛ්‍ය සංවර්ධනය සහ භෞතික සංවර්ධනය යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. එහෙත් බොහෝ දේශපාලනඥයන් අවධානය යොමු කළේ, භෞතික සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි පමණි. ඒ, එහි ඇති අතිවිශාල කොමිස් කුට්ටි හේතුවෙනි. මේවා ‘අරුම පුදුම සංවර්ධනය’ හෙවත් ‘අරුමැසි සංවර්ධනය’ යනුවෙන් හඳුන්වනුයේ ඒ හේතුවෙනි.

ජනතා මුදල් කාබාසිනියා කරමින් කෙරෙන මෙවැනි අසාර්ථක සංවර්ධන ව්‍යාපෘති නිසා රජයකට දැරීමට සිදු වන පාඩුව අතිවිශාල ය. එමඟින් ජනතා අපේක්ෂාව ඉටු නොවනවා පමණක් නොව, ඒ සඳහා වැය වූ මූල්‍යමය ප්‍රාග්ධනය ද අපතේ යයි.

මෙලෙස අසාර්ථක වූ සංවර්ධන ව්‍යාපෘති ඉතා දීර්ඝ ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැකි ය. ඇතැම් ඒවා ජනතා අපේක්ෂා හඳුනා නොගෙන, දේශපාලකයන්ගේ හිතුමනාපයට සකස් කරන ලද ඒවාය. හම්බන්තොට අන්තර්ජාතික ශ්‍රවණාගාරය, ලුණුගම්වෙහෙර ව්‍යාපෘතිය, නිල්වලා නිම්න මිටියාවත් ව්‍යාපාරය, සමනල වැව ව්‍යාපෘතිය, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය එවැනි උදාහරණ කිහිපයක් පමණි.

විදේශ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති අතුරින් අතිබහුතරය අසාර්ථක ව්‍යාපෘති බවට පත්ව ඇතැයි ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී අනාවරණය වී තිබිණි. දූෂණය, වංචාව, අක්‍රමිකතාව මෙහි ප්‍රධානතම හේතු සාධක බව එමඟින් අනාවරණය විය. දේශපාලනික රැකවරණය මැද මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වූ අතර, එකී සංවර්ධන ව්‍යාපෘති ප්‍රමිතිගත තත්ත්වයෙන් තොර වීමටද එය හේතුවක් විය. මෙහි අවසාන ප්‍රතිඵලය වනුයේ ඒ භෞතික සංවර්ධන ව්‍යාපෘති ජනතා හිස මත කඩා පතිත වීම ය. මෙය ණය බර ඉහළ යෑමට ද ඉතා බරපතළ හේතුවකි.

මේවායින් පැහැදිලි වන්නේ, ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ දුර්වලතාවයි. ඒ සිදු වනුයේ අනීතික දේශපාලනික මැදිහත් වීම හේතුවෙනි.

එගොඩඋයන දුම්රිය මගී ගුවන්පාලම කඩාවැටීමෙන් ශ්‍රී ලංකාවේ භෞතික සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ යළි සිතා බැලීමට අප පොලඹවා ඇත. ශ්‍රී ලංකාවට අලුතින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති හඳුන්වා දීමට පෙර, පැවති සංවර්ධන ව්‍යාපෘතිවල තත්ත්වය හා ගුණාත්මකභාවය හඳුනාගැනීමේ අවශ්‍යතාව එමඟින් පෙන්වා දී ඇත. ඒවායේ ප්‍රමිතිගත තත්ත්වය යළි සොයාබැලිය යුතුව තිබේ. රාත්‍රී කාලයේදී කඩාවැටුණු එගොඩඋයන ගුවන්පාලම කඩාවැටීම නිසා ජීවිත හානි සිදු නොවුණත්, යළි එවැන්නක් ඇති නොවෙතැයි පූර්ව විශ්වාසයක් අප තුළ නැත.

ලෝකයේ සෙසු රටවල් අනාගත වසර සියය සඳහා සංවර්ධන සැලසුම් සකස් කරද්දී, සහස්‍රක සංවර්ධන අරමුණු සහ ඉලක්ක අභිමතාර්ථ සපුරා ගැනීමට කටයුතු කරද්දී ශ්‍රී ලංකාවේ අපගේ හිස මතට ගුවන්පාලම්, කඩාවැටේ නම්, එය අතිශය ඛේදනීය තත්ත්වයකි. අනාගත පරම්පරාව පවා ණයගැතියන් බවට පත්කොට, කරන ලද අතීත සංවර්ධන ව්‍යාපෘති ඵලදායක නොවේ නම්, ඉදිරි පරම්පරාව වර්තමාන පරම්පරාවේ ක්‍රියාකාරකම් පිළිබඳ දොස් නඟනු ඇත.

එබැවින් සංවර්ධනයේ නාමයෙන් සිදු කර ඇති අසාර්ථක ව්‍යාපෘති හෙළිදරවු කළ යුතු මෙන්ම ජනතා අවශ්‍යතා හඳුනාගත් සංවර්ධන ක්‍රියාවලියක් සඳහා මාවත සකස් කර ගැනීම ද කාලීන අවශ්‍යතාවක් වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT