Home » සම්ප්‍රදායික දැනුමට තාක්ෂණය මුසු කළ යුතුයි

සම්ප්‍රදායික දැනුමට තාක්ෂණය මුසු කළ යුතුයි

-SAVIRU SPICES PVT(LTD හි ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකා ශ්‍රියා වීරතුංග

by sachintha
March 28, 2025 4:00 pm 0 comment

අනාදිමත් කලෙක සිට ක්‍රියාත්මකවන මෙරට සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට නවීන තාක්ෂණික ක්‍රම ශිල්ප හඳුන්වා දී උසස් ප්‍රමිතිය හා ගුණාත්මය ආරක්ෂා කරමින් දෙස් විදෙස් වෙළෙඳපොළ ජයගත් වෘත්තීයෙන් ඉංජිනේරුවරියක් සේම ව්‍යවසායිකාවක්වන ශ්‍රියා වීරතුංග අපගේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය පියවර දහස් ගණනින් ඉහළට ඔසවා තබමින් ඒ සඳහා උසස් ප්‍රමිතියක් ගොඩනඟා තිබේ. මේ කතාබහ ඒ පිළිබඳවයි.

වෘත්තීයෙන් ඉංජිනේරුවරියක් සේම ව්‍යවසායිකාවක්. එසේවීමට පදනම කුමක්ද?

මගේ ළමා කාලය ඉතාමත් සොඳුරුයි. මාතලේ ප්‍රදේශයේ කඳුවලින් වටවූ කලල්පිටිය ගමේ පාසලින් මම මූලික අධ්‍යාපනය හැදෑරුවේ. අපේ පාසල් වත්ත උයන්වත්තක් වගේ ලස්සනට වගාකර තිබුණා. ඒ සඳහා මූලික වුණේ ඊ.එල්. ප්‍රේමදාස නම් බුද්ධ ධර්මය විෂය සහ කෘෂිකර්ම විෂය ඉගැන්වූ ගුරුතුමා. එතුමා බෞද්ධ දර්ශනයේ මූලධර්ම කෘෂිකර්මාන්තයේ සිද්ධාන්ත හා මුසු කරමින් ඉතාමත් ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබාදීමට සමත් වුණා. එසේ ලද ප්‍රබෝධමත් අත්දැකීම් තවදුරටත් වර්ධනය වුණේ එකල අපේ ගම්වල වැඩිහිටියන් කන්න භෝගවලින් ලැබෙන වැඩි අස්වැන්න වසර පුරාම ප්‍රයෝජනයට ගතහැකි ආකාරයෙන් සුරක්ෂිත කිරීමට සාම්ප්‍රදායික තාක්ෂණය භාවිතා කරන අන්දම ප්‍රායෝගිකවම අත්විඳීමට ලැබීමයි. මේ නිසා අපේ යෞවන කාලයේ සංවෘත ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා ඇතිවූ පාන් පෝලිම්වල නොරැඳී ආහාර හිඟයට මුහුණදීමට අපේ ගැමියන්ට හැකියාව ලැබුණා. මේ අත්දැකීම් කෘෂිකර්මාන්තය හා ආහාර සුරැකීම යන අංශ දෙක කෙරෙහි මා තුළ ලැදියාවක් තිබුණා.

ගමේ පාසලින් සාමාන්‍ය පෙළ සමත්වී මම මාතලේ විද්‍යා විද්‍යාලයට ඇතුළත් වුණේ උසස් පෙළ ගණිත අංශය සඳහායි. ඉන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළුවී මූලික ඉංජිනේරු විද්‍යා උපාධිය රසායනික සහ යාන්ත්‍රික විද්‍යා අංශයෙන් ලබාගත්තා. ඉන් අනතුරුවයි පශ්චාත් උපාධිය සඳහා කෘෂි ඉංජිනේරු අංශය තෝරාගත්තේ. මේ සඳහා තායිලන්තයේ AIT විශ්වවිද්‍යාලය තෝරාගත්තේ නැඟී එන ආර්ථිකයක් සහිත තායිලන්තයේ පසු අස්වනු තාක්ෂණය පිළිබඳව හැදෑරීමෙන් අපේ රටේ පවතින ගැටලු සඳහා සමීප විසඳුම් සොයාගත හැකි බවට මා තුළ පැවති විශ්වාසයයි. ඒ අනුව ශාස්ත්‍රීය පර්යේෂණ අතර තායිලන්තයේ ගොවිබිම් වෙත සංචාරය කරමින් ඔවුන් අස්වනු නෙළන ආකාරය, ඒවා සුරක්ෂිතව ඇසිරීම, පිරිසිදුව ප්‍රවාහණය, ගබඩා කිරීමේ තාක්ෂණික පිළිවෙත් ආදිය පිළිබඳව ප්‍රායෝගිකව අත්දැකීම් රාශියක් ලබාගත්තා. ඒ අතර කෙටිකලකට ශිෂ්‍යත්වයක් ලබාගනිමින් චීනයට යාමටත් අවස්ථාවක් උදාකර ගත්තා. එහිදීත් පසුඅස්වනු තාක්ෂණය පිළිබඳව අත්දැකීම් රැසක් උකහා ගැනීමට හැකි වුණා.

ඔබගේ ව්‍යාපාරය ඇරඹෙන්නේ ඉන් අනතුරුවද?

පශ්චාත් උපාධිය අවසන් කිරීමෙන් අනතුරුව මට වුවමනා වුණේ ඒ දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම. නමුත් පිට‍ස්තර ආයතනයකින් මට වුවමනා ආකාරයේ නිෂ්පාදන ක්‍රියාවලියක් ගොඩනැඟීම අසීරු බව වැටහුණා.

මගේ සැමියා වන කපිල වීරතුංග ඉංජිනේරු වෘත්තිකයෙක්. ඔහුගේ විෂය ක්ෂේත්‍රයත් රසායනික හා යාන්ත්‍රික තාක්ෂණයයි. පශ්චාත් උපාධිය ලෙස ඔහුගේ තෝරාගත්තේ යාන්ත්‍රික විද්‍යාව සඳහා පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම පිළිබඳවයි. ඒ දැනුම භාවිතයෙන් පසු අස්වනු තාක්ෂණයට අවැසි විජලන යන්ත්‍ර වාණිජව නිෂ්පාදනය කරන ආයතනයක් ඔහු ආරම්භ කළා. ඒ සඳහා පේටන්ට් බලපත්‍රය, අන්තර්ජාතික නව නිපැයුම් සංගමයේ රන් සම්මානය මෙන්ම නව නිපැයුම් සඳහා වන ජනාධිපති සම්මානය පවා හිමි වුණා. අප ලබාගත් දැනුම එක් අරමුණක් වෙනුවෙන් මෙහෙයවමින් 2017 දී saviru spices නමින් හවුල් ව්‍යාපාරයක් ලෙස ඇරඹි මෙය 2022දී ව්‍යාපාරයක් ආරම්භ කළා.

කුරුඳු කර්මාන්තයට විද්‍යාත්මක හැඩයක් ලබා දුන් බව ඔබ පැවසුවා?

කුරුඳු කර්මාන්තය ඉතිහාසය පිළිබඳව නිශ්චිත සාක්ෂි විවාදාපන්න වුවත් 15-16 ශතවර්ෂ වන විට ක්‍රමයෙන් මෙරට ප්‍රධාන වෙළඳ භාණ්ඩයක් බවට පත්ව තිබූ බවට සාක්ෂි හමුවෙයි. ඒ අනුව කුරුඳු කර්මාන්තය හා බැඳි සාම්ප්‍රදායිකව ගොඩනඟා ගත් ඥාන සම්භාරයක් වෙයි. කුරුඳු සිටුවීම, සුදුසු කාලයට කප්පාදු කිරීම, ලී තැළීම, පොතු ගැලවීම. ඒවා වේළාගැනීම ආදීවූ සෑම පියවරක් පිළිබඳව මනා අධ්‍යයනයකින් කුරුඳුවල සුවඳ, පැහැය, ගුණාත්මකබව විනාශ වීම හෝ අඩුවීම වැළැක්වීම සඳහා කටයුතු කළා. මෙහිදී අපි විශේෂයෙන්ම අවධානය යොමු කළේ ආවේණික පියවර රකිමින් වඩාත් පිරිසිදුව සහ ගුණාත්මක බව ආරක්ෂා වන ආකාරයෙන් පසු අස්වනු තාක්ෂණය සැලසුම් කිරීමයි. ඒ අනුව දුර්වල පියවරයන් දියුණුකර යාන්ත්‍රික විජලනය ඇතුළු නවීන තාක්ෂණය භාවිත කරමින් කුරුඳු අගය එකතු කළ නිෂ්පාදනය ඉහළ ප්‍රමිතියකින් යුතුව කිරීමට සමත් වුණා. මේ

නිෂ්පාදන සඳහා ISO 22000, HESAP වැනි අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතීන් හිමි වුණා. ඒ අනුව මුලින්ම මාතර ප්‍රදේශයේ කුරුඳු පසුසැකසුම් කර්මාන්තශාලාවක් ඇරඹුවා. කුරුඳු සඳහා ලැබුණ ඉහළ ප්‍රතිචාර පිළිබඳව සැලකිලිමත් වෙමින් අනෙකුත් කුඵ බඩු නිෂ්පාදනය කිරීමේ ආයතනයක් මාතලේ ආරම්භ කළා.

මේක හවුල් ව්‍යාපාරයක් ද? පවුලේ ව්‍යාපාරයක් ද?

මම කැමති මේක කාන්තාවන් විසින් කාන්තාවන් වෙනුවෙන් ගොඩනඟන ලද ව්‍යාපාරයක් ලෙස හැඳින්වීමට. 2017 දී මුලින්ම savoru spices ඇරඹුවේ හවුල් ව්‍යාපාරයක් ලෙසයි. පසුව 2022 දී SAVIRU SPICES PVT (LTD) බවට පත්වුණා. ආයතනයේ තාක්ෂණික අංශය භාරව කටයුතු කරන්නේ මගේ සැමියා වන කපිල වීරතුංග. අපගේ දියණිය වන සේසත්‍යා වීරතුංග නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනවා.

අපේ රටේ සාම්ප්‍රදායික කුළුබඩු කර්මාන්තය ක්‍රියාත්මක වෙන්නේ කාන්තා ශ්‍රමය මූලික කර ගෙනයි. ඒ අනුව අපේ කර්මාන්තයේ වැඩි වශයෙන් නිරතව සිටින්නේ කාන්තාවන්. අපේ ආයතනයට අවශ්‍ය කුළුබඩු අමුද්‍රව්‍ය සියල්ලම වාගේ සපයන්නේ මේ කාන්තාවන්. අපි අස්වනු නෙළීමට සුදුසුම අවස්ථාවේ නෙළාගත් අස්වැන්න පමණයි ඔවුන්ගේ ගොවිබිම් වෙතින් මිලදී ගන්නේ. අපේ කර්මාන්තශාලාවල නිෂ්පාදන ක්‍රියාවලියට දායකවන පිරිස අතරින් වැඩි ප්‍රතිශතය කාන්තාවන්. විජලන මැෂින් මෙන්ම ඒ සමස්ත ක්‍රියාවලියම හැසිරවීමට කාන්තා ශ්‍රමය ප්‍රමාණවත්. අපගේ කර්මාන්තශාලා දෙකම බලශක්තිය හැකි පමණ සුරක්ෂිතවන ආකාරයෙන් පරිසර හිතකාමී ලෙස නිර්මාණය කිරීමටත් අපි කැප වුණා. ඒ නිසා දේශීයව මෙන්ම අන්තර්ජාතිකවත් ඉහළ ඉල්ලුමක් තිබෙනවා.

Saviru සහ Amau ලෙස සන්නාම දෙකක් හඳුන්වා දී තිබෙනවා?

Saviru කියන්නේ සියලු ශක්තීන් ලබාදෙන හිරු. Amau යනු දිර්ඝායුෂ. මේ ඇසුරුම් දෙකෙහිම අන්තර්ගතය එකයි. නමුත් අපනයනය කරන්නේ amau සන්නාමයෙන් යුතු නිෂ්පාදනයි. විදෙස් රටවල සිට සංචාරයේ එන සංචාරකයින් වගේම විදෙස් රටවලට යන ශ්‍රී ලාංකිකයින් අපේ නිෂ්පාදන ගෙනයාමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙනවා. නිෂ්පාදනයන්ගේ ඉහළ ප්‍රමිතිය උසස් නිසා ඒවා දේශීයව අලෙවි කරන්නේ ඒවාට සුදුසු තැන්වල. ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව සහ පේරාදෙණිය හා පැල්වෙහෙර පිහිටි අලෙවිසල්වල මෙන්ම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මාතලේ කුළුබඩු උයනේ අලෙවිසලෙන් මිලදී ගත හැකියි. මීට අමතරව කුළුබඩු අපනයන කර්මාන්තය සඳහා අප ආයතනයෙන් තොග වශයෙන් ලබාගන්නා අය මෙන්ම සංචාරක හෝටල් සඳහාත් ඉල්ලුමක් තිබෙනවා. අපගේ අරමුණ අපනයනය සඳහා අගය එකතු කළ නිෂ්පාදන වැඩි වශයෙන් යොමු කිරීමයි.

කුළුබඩු කර්මාන්තයෙන් ජාතික ආදායමට ලැබෙන පංගුව වැඩිකළ හැකි බවට ඔබ අවධාරණය කළා.

සාම්ප්‍රදායික ක්‍රමයට කර්මාන්තයේ නියැළීම නිසා අපි ලබාගන්නා අස්වැන්නෙන් වැඩි කොටසක් නාස්ති වෙනවා. අපේ දේශීය කුළුබඩුවල රසයට මෙන්ම ගුණයට හානිවෙන අවස්ථා බොහොමයි. අපි පෙන්වා දෙන්නේ ඒ අවස්ථා මඟහැරීමෙන් ලෝකයේ ඉහළ මිලක් ගෙවන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ විය හැකි බවයි.

බුද්ධිකා බ්‍රාහ්මණගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT