හංසනී ගෝමස්, අමාෂා ද සිල්වා, හිරුකි ද සිල්වා, චමෝදි ප්‍රබෝදා හා රනිත්මා ලියනගේ වැඩසටහනට එක්ව සිටි අයුරු. ජාතික ඔලිම්පික් කමිටු මලල ක්‍රීඩක කමිටුවේ සභාපති නිලූක කරුණාරත්න ද සිටී.
ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ නිරතවී සිටින ක්‍රීඩිකාවන්ට ක්ෂේත්‍රයේ වැඩි කලක් රැඳී සිටීමට හා ජාත්‍යන්තර තලයේ ඉදිරියට යෑමට නොහැකි විශාලතම බාධකය වී ඇත්තේ ඇතැම් පුහුණුකරුවන්ගෙන් හා පරිපාලනයේ නිරතව සිටින ඇතැම් නිලධාරීන්ගෙන් සිදුවන මානසික හා ශාරීරික හිංසන බව බර ඉසිලීමේ ක්‍රීඩිකා හංසනී ගෝමස් අවධාරණය කරන්නීය. ලොවක් ජයගත හැකි කාන්තාවකට සුදුසු ආරක්ෂිත පරිසරයක් ඇත්නම් ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමේ හැකියාව බොහෝ සෙයින් ඇති බව ඇය පැවැසූවාය.
“මා නම් ගම් කියන්න කැමැති නෑ. දක්ෂ කාන්තාවෝ කීදෙනෙක් ක්‍රීඩාව අතහැර ගිහින් තියෙනවාද? මේක නැති කරන්න අවශ්‍යයි. ක්‍රීඩිකාවන්ගේ අයිතිවාසිකම් කතා කරනවා වගේම ඔවුන්ගේ ආරක්ෂාව සැබෑවටම සහතික කිරීම වැදගත්” හංසනී ගෝමස් පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔලිම්පික් නිවහනේ පැවැති ‘ඇගේ ගමන හා ඇගේ ජයග්‍රහණය’ යන තේමාව යටතේ පැවති වැඩසටහනේදී අදහස් දක්වමිනි. ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංගමය එක්ව කාන්තාවන්ගේ ශක්තිය, ඔරොත්තුදීමේ හැකියාව සහ ජයග්‍රහණ සමරමින් පෙරේදා ඔලිම්පික් නිවහනේදී මේ විශේෂ වැඩසටහන පැවැත්විණි.
ක්‍රීඩාවේ සහ ඉන් ඔබ්බට වෙනසට අනුබල දෙන සහ බාධක බිඳ දමන ඇදහිය නොහැකි කාන්තාවන්ට ගෞරව කිරීම වෙනුවෙන් මේ වැඩසටහන සංවිධානය කළ බව සඳහන් විය. ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා හා ක්‍රීඩා ඇමැතිවරයා සභාව ඇමැතීමෙන් පසු වැඩසටහන ආරම්භ කෙරිණි.
බර ඉසිලීමෙන් පොඳු රාජ්‍ය මණ්ඩලීය ලෝකඩ පදක්කමක් දිනාගත් එකම ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට ලක්වූ දකුණු ආසියානු පදක්කම් දිනාගත් හංසනී ගෝමස් මෙන්ම තවත් නැඟී එන ක්‍රීඩිකාවන් සිවුදෙනකු මෙහිදී අදහස් දැක්වූහ.
මලල ක්‍රීඩාවෙන් තුන්වතාවක් මීටර් 100 ජාතික ශූරිය හා ශ්‍රී ලංකාවේ සිවුවැනි වේගවත්ම කාන්තාවවූ 2019 දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ රිදී පදක්කම දිනාගත්, ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකා අමාෂා ද සිල්වා – “මම කුඩා කාලයේ සිට ක්‍රීඩාවට ඇලුම් කළා. මගේ අම්මා මලල ක්‍රීඩිකාවක්. පාසල් කාලයේදී 7 වැනි පන්තියේදී මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් යටතේ පුහුණු වුණා. කලින් ගොඩක් දක්ෂ මලල ක්‍රීඩාවට නොවෙයි. ක්‍රීඩාව තුළ මම යම් වින්දනයක් ලැබුවා. 20න් පහළදී දකුණු ආසියානු රන් පදක්කම් 4ක් ගෙනාවා. එතැන් සිට ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය දක්වා ගිහින් පසුව ජාතික ශූරිය වුණා. අපිට ලොකු පහසුකම් තිබුණේ නෑ. අඩු පහසුකමෙන් තිබුණත් අධිෂ්ඨානයක් ඇතිනම් ඉදිරියට යන්න පුළුවන් කියන පාඩම මම කියා දුන්නා”.
පිහිනුම් ක්‍රීඩාවෙන් දකුණු ආසියා ක්‍රීඩා උලෙළේ රිදී පදක්කම දිනාගත් හා ලෝක පිහිනුම් ශූරතාවලිය නියෝජනය කළ ජාතික පිහිනුම් ශූරී හිරුකි ද සිල්වා – කුඩා කාලයේ සිට පිහිනුම් ක්‍රීඩාවට ආදරය කළා. වයස අටේදී පිහිනුම් ක්‍රීඩාව පුහුණු වුණා. දකුණු ආසියානු රිදී පදක්කම දිනා ගත්තාය. කනිෂ්ඨ අංශයේදී ලෝක තරගාවලිය දක්වා ගියා. රටෙන් පිටත තරගාවලියකදී විශාල අත්දැකීම් ලැබෙනවා. ඒක ජීවිතයට විශාල වැදගත්කමක් ලැබුණා. එක් අවස්ථාවක බුඩාපේස්ට් ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබුවත් වීසා ප්‍රශ්නයක් නිසා යන්න වුණේ නෑ. ඒක කනගාටුදායක අත්දැකීමක්. නමුත් නොසැලී ඉදිරියට යන්න අපට පුළුවන් විය යුතුයි” හිරුකිගේ අදහස වූවාය.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යමින් සිටින 15 හැවිරිදි චමෝදි ප්‍රබෝදා එංගලන්තයට එරෙහිව 19න් පහළ තරගයකදී කඩුලු 5ක් බිඳ හෙළා කාගේත් අවධානයට ලක්වූ ක්‍රීඩාකාවකි. ඇය පැවසුවේ සැමවිටම වෙනසක් අපේක්ෂාවෙන් පිටියට පිවිසෙන බවය. “පොඩි කාලේ ඉඳලා ඕන වුණේ වෙනම කෙනෙක් වෙන්නයි. තාත්තා මැච් බලද්දී මට ක්‍රිකට්වලට ආසා හිතුනා. දිස්ත්‍රික් මට්ටමට ගියාම ගොඩක් ජීවිතේ වෙනස් වුණා. මුලින්ම තණතිල්ලක් දැක්කේ පළාත් තරගාවලියේදී. 19න් පහළ තේරුණාට පසු වසරක් වැනි කෙටි කාලයකදී ලෝක කුසලානයක් හා ආසියානු තරගාවලි නියෝජනය කළා. ලෝක වාර්තාවක් සමඟ දක්ෂතා දක්වන්න පුළුවන් වුණා චමෝදි ප්‍රබෝදා පැවසුවාය. “මම ඉදිරියට එන ක්‍රීඩිකාවන්ට ක්‍රියන්නේ හීන” පසුපස හඹායන ලෙසයි. ඒ හීන සැබෑ වුණාම ගෙදර අයයි එයයි ගොඩක් සතුටු වෙනවා” චමෝදි කීවාය.
තුන්වතාවක් බැඩ්මින්ටන් ජතික ශූරිය වූ රනිත්මා ලියනගේ බහරේනයේදී රිදී පදක්කමක් දිනා ලෝක බැඩ්මින්ටන් ශූරතාවලියේදී අවසන් 16 දෙනාගේ වටයට පිවිසි ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්ව සිටී. “මම ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක් වුණේ පාසල් කාලයේදීමයි. 2021දී ජාතික ශූරතාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසියාම මම හිතුවා බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න පුළුවන් කියා. ඉන් පසුව තුන්වතාවක් මම ජාතික ශූරිය වුණා” රනිත්මා පැවසුවාය.
17 වතාවක් ජාතික බැඩ්මින්ටන් ශූරයා වූ ඔලිම්පික් තරගාවලි 3කදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ තිහිපයකදීම දස්කම් දැක්වූ ජාතික ඔලිම්පික් කමිටු මලල ක්‍රීඩක කමිටුවේ සභාපති නිලූක කරුණාරත්න මේ වැඩසටහන මෙහෙයවිය.