Home » සමථ මූලමණ්ඩල ක්‍රියාකාරීත්ව වැඩමුළුවක්

සමථ මූලමණ්ඩල ක්‍රියාකාරීත්ව වැඩමුළුවක්

by sachintha
March 27, 2025 4:40 pm 0 comment

ආරවුල් නිරවුල් කිරීමේ විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙස සමථකරණයෙහි ඇති වැදගත්කම හා සමථ මූලමණ්ඩල ක්‍රියාකාරීත්වය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ අරමුණින් ගැටුම් නිරාකරණය හා සමථකරණය පිළිබඳව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් මාතර දිස්ත්‍රික් ලේකම්, දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (25) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සඳැල්ල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහිදී ආරවුල් නිරවුල් කිරීමේ විකල්ප ක්‍රමවේදයක් වශයෙන් සමථකරණය, ගැටුම හා ගැටුම් නිරාකරණයෙහිලා සමථකරණ සංකල්පය, සමථකරණය සඳහා සන්නිවේදනය, සමථ මූලමණ්ඩල ක්‍රියාකාරීත්වය, සමථ මණ්ඩල පනත, සමථ මූලමණ්ඩලයෙන් ප්‍රජාවට අත්වන ප්‍රතිලාභ පිළිබඳව විශේෂයෙන් දැනුම්වත් කරන ලදි. ගැටුම් නිරාකරණය හා සමථකරණයේ දී පුද්ගලයන් තුළ තිබෙන කායික හා මානසික වෙනස්කම් සැලකිල්ලට ගතයුතු බවත් එම වෙනස් තත්ත්වයන්ම ගැටුම් නිරාකරණය හා සමථකරණය සඳහා යොදාගත යුතු බව ද අවධාරණය කෙරිණ.

මෙහි සම්පත් දායකත්වය සපයන ලද්දේ කිරින්ද – පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමථ සංවර්ධන නිලධාරි පියුමි කංකානම්ගේ මහත්මිය විසිනි. මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර, සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර, මාතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරි රංජනී ඩයස් මහත්ම මහත්මීන් ඇතුළු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීහු පිරිසක් සහභාගි වී සිටියහ. අධිකරණ අමාත්‍යංශයේ සමථ මණ්ඩල කොමිෂන් සභාව මඟින් රාජ්‍ය නිලධාරීන්, පාසල් දරුවන් හා ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් දීපව්‍යාප්තව සිදු කරනු ලබන අතර, ඊට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමථ අංශය වැඩසටහන සංවිධානය කර තිබුණි.

අකුරැස්ස මධ්‍යම විශේෂ – විජිත සල්ගාදු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT