Home » මනම්පිටිය වැලි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මිල ඉහළට

මනම්පිටිය වැලි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මිල ඉහළට

by sachintha
March 27, 2025 4:37 pm 0 comment

පොලොන්නරුව මනම්පිටිය මහවැලි ගඟෙන් මේ දිනවල ගොඩ දමන වැලි ප්‍රමාණවත් නොවීම සහ එලෙස ගොඩ දමන වැලිවල මිල ඉහළ යෑමත් සමඟ වැලි පාරිභෝගිකයින් මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දැඩි අසීරුතාවට පත්ව සිටිති.

ශ්‍රී ලංකාවේ වැඩිම ඉල්ලුමක් පවතින, හොඳම වැලි ලෙස සලකන මනම්පිටිය මහවැලි ගඟෙන් ගොඩ දමන වැලි කියුබ් තුනක් මේන විට එම සමාගම මඟින් නිකුත් කරන්නේ රුපියල් 26,700ක මිලකටය.

එලෙස සමාගම මඟින් රුපියල් 26,700 කට නිකුත් කරන වැලි කියුබ් තුන අනුරාධපුර දිස්ත්‍රික්කයට ප්‍රවාහනය කිරීමේදී ටිපර් රථ හිමිකරුවන් රුපියල් 85,000 කටත්, කොළඹ ඇතුළු නගරවලට ප්‍රවාහනය කරන විට එය රුපියල් ලක්ෂය ඉක්මවන බව ද වැලි සමාගමේ නියෝජිතයකු අප කළ විමසීමකදී පැවසීය.

මනම්පිටිය මහවැලි ගඟේ වැලි මංකඩ 154ක් පිහිටා තිබෙන අතර එහි කම්කරුවන් 1000 කට වැඩි ප්‍රමාණයක්, වැලි මංකඩ ලාභීන් වෙනුවෙන් වැලි ගොඩ දමන අතර, වැලි කියුබ් එකක් සඳහා වැලි ගොඩ දමන කම්කරුවකුට ගෙවනු ලබන්නේ රුපියල් 3,300කි.

සතියේ දින පහ පුරාම මනම්පිටිය මහවැලි ගඟෙන් වැලි ප්‍රවාහනය කිරීම සඳහා ලොරි රථ පන්සියයකට වැඩි ප්‍රමාණයක් දෛනිකව පැමිණෙන අතර එලෙස පැමිණෙන ලොරි සඳහා ටෝගන් ක්‍රමයට පැටවෙන්නේ සති දෙකටම එක් අවස්ථාවක් වීම වැලි මිල ඉහළ යෑමට එක් හේතුවක් බවද සමාගම සඳහන් කරයි.

වැලි ගොඩ දමන කම්කරුවන් වී අස්වනු නෙළීම සඳහා කුලියට යෑම, මනම්පිටිය මහවැලි ගඟේ ජල මට්ටම වැඩිවීම සමඟ වැලිගොඩ දැමීම හිඟවීම, වැලි හිඟයට තවත් ප්‍රධාන හේතුවක් බව ද සමාගම සඳහන් කරයි.

අප මේ සම්බන්ධයෙන් මනම්පිටිය වැලි සමාගමේ ස්ථානභාර නිලධාරී එච්.එම්.ඩබ්ලිව්.ඩී. ජයමාල් මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ වැලි මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සතියකට එක් අවස්ථාවක් ලොරි පමණක් සඳහා වැලිපැටවීමත්, වැලි ගොඩ දමන කම්කරුවන්ගේ හිඟය සහ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යෑම ඊට හේතුව වී ඇති බවයි.

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT