ඓතිහාසික මහනුවර යුගයේ පැවති පැරණි චිත්‍රවලට නැවත ජීවය දෙන යතිවරයාණන් වහන්සේනමක් පිළිබඳ තොරතුරු රඹුක්කන, පත්තම්පිටිය ප්‍රදේශයෙන් වාර්තාවේ.
දකුණු පළාතෙන් සබරගමුවට පැමිණ මහනුවර යුගයේ චිත්‍ර අඳින “ගාල්ලේ හාමුදුරුවෝ” නමින් ප්‍රචලිත මෙම ස්වාමීන් වහන්සේ මහනුවර, දේදුනුපිටිය ශ්‍රී බෝධිසීහ මහ පිරිෙවනේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයකු වශයෙන් රාජ්‍ය සේවයේ නිරත වන්නෙකි. ගුරු වෘත්තිය මෙන්ම චිත්‍ර කලාවටත් ඇලුම් කරන මෙම ස්වාමීන් වහන්සේ චිත්‍ර කලාව විෂයයක් ලෙස හදාරා නොමැති බවත්, මෙම විෂය සම්බන්ධයෙන් වෙනත් කිසිදු පාඨමාලාවක් ද හදාරා නොමැති බව ගාල්ලේ හාමුදුරුවෝ අප සමඟ පැවසූහ.
“මම දකුණේ කෙනෙක්. ඒ බව මම ආඩම්බරයෙන් කියනවා. දකුණු පළාතේ ගඟබඩපත්තුවේ බද්දේගම, වැලිවිටියේ තමයි මගේ උපන් ගම. මගේ නම වැලිවිටියේ චන්දුසිරි නැතිනම් ගාල්ලේ හාමුදුරුවෝ. 1994 වර්ෂයේ රාජ්‍ය සේවයට එක්වන්නේ ගුරුවරයෙක් විදිහටයි. මට මුලින්ම පත්වීම ලැබුණේ මධ්‍යම පළාතට අයත් හතරලියද්ද, වෙලගම පිරිවෙනටයි. වර්තමානයේ දේදුනුපිටිය ශ්‍රී බෝධිසීංහ මහ පිරිවෙන නමින් හඳුන්වනවා. මෙහි ආචාර්යවරයෙක් වශයෙන් ද, නියෝජ්‍ය පරිවේණාධිපති වශයෙන් ද, පරිවේණාධිපති වශයෙන් ද වර්තමානය වනවිට ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයා වශයෙන් පුරා වසර 30ක් සේවාවක් සිදුකරමින් සිටිනවා.”
“මම මේ ඇඳලා තිබෙන චිත්‍ර අතර වැඩි වශයෙන් තිබෙන්නේ මහනුවර යුගයට අයත් චිත්‍ර. ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර, සීගිරි චිත්‍ර, හේමමාලි කුමාරිය හා දන්ත කුමරු දළදා වැඩම කරවීම, මේ චිත්‍ර ඇඳීම සඳහා මම යොදාගෙන තිබෙන්නේ ඉවතලන රෙදි, සිවිලිම් බෝඩ් කැබලි, ගෝණි වැනි අමුද්‍රව්‍ය වටපිටාවෙන් සොයා ගත්තු දේවල්. මෙම චිත්‍ර සඳහා යොදාගන්නා වර්ණ අධික මිලයි. සමහර ඒවා මම ගන්නවා. පිටරට ඉන්න මගේ යාළුවෙක් මට චිත්‍ර ඇඳීමට අවශ්‍ය පැන්සල්, පින්සල් සායම් එවනවා. ඒවා මට ගොඩක් වටිනවා.”
2004 වර්ෂයේ සිංගප්පූරුවේ ලංකාරාම විහාරස්ථානයේ ප්‍රථම වරට පහන් කූඩුවක් හදලා ප්‍රදර්ශනය කිරිමේ ගෞරවය හිමිවන්නේ ද මෙම ගාල්ලේ හාමුදුරුවන්ටය.
“මගේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා මම ඇඳපු මේ චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්න. රඹුක්කන ප්‍රදේශීය සභාවේ සභිකයකු ලෙස හිටපු එකම භික්ෂූන් වහන්සේ වන්නේ මමයි. මම ඒ කාලේ මට ලැබෙන මන්ත්‍රී ප්‍රතිපාදන සියල්ලම පාහේ ජනතා සේවයට යෙදෙව්වා, පාසල් දරුවන්ට, පාසල් උපකරණ ලබාදීම ආදී සමාජ සේවා කටයුතුවල නිරත වුණා…”
රඹුක්කන උතුරු සමූහ – විපුල එස්. කුමාරතුංග