Home » ගමේ බලය නැවත පොහොට්ටුවට දෙන්න

ගමේ බලය නැවත පොහොට්ටුවට දෙන්න

-හිටපු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම්

by sachintha
March 27, 2025 4:02 pm 0 comment

එළැඹෙන පළාත් පාලන ඡන්දයේදී ගමේ බලය නැවත වරක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දීමට ජනතාව පෙළ ගැසී සිටින බව පක්ෂයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී පසුගියදා (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“කිසිදු පොරොන්දුවක් ඉටු කරන්න මේ රජයට බැරි වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහ ජනාධිපති ධුරය දී තවදුරටත් ගමේ බලය අවශ්‍ය යැයි කියන්නේ නම් එය ජනතාවට කරන අපහාසයක්. පසුගිය සතියේදී පළාත් පාලන ඡන්දයට නාමයෝජනා භාරදීම සිදු කළා. එහිදී පළාත් පාලන ආයතන 263කට අපේ නාමයෝජනා පිළිගෙන තිබෙනවා. පළාත් පාලන ආයතන කිහිපයකට අපි භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වෙලා තිබෙනවා. ඒ බොහෝමයක් නාමයෝජනා ප්‍රතික්ෂේප වෙලා තිබෙන්නේ තරුණයන් සඳහා දුන් උප්පැන්න සහතිකය පිළිනොගැනීම මත. මේ කාරණය සම්බන්ධයෙන් අපි අධිකරණයේ මැදිහත්වීම බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. කෙසේ වෙතත් මෙවර පළාත් පාලන ඡන්දයේදී ගමේ බලය නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දීමට ජනතාව පෙළ ගැසී සිටිනවා. අපි සූදානම් ඒ බලය නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගන්න.

හැමදාම ගම් ප්‍රදේශවලට අවශ්‍ය දේ ඉටු කර දුන්නේ, ග්‍රාමීය සංවර්ධනය කළේ, ගමේ පාර, ඇළදොළ, විදුලිය යන සියලු දේවල් දෙස බැලුවේ මේ ගමේ නගර සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගිය වෙලාවටයි. ජනතාවට හැමදාම නීරෝගිමත් ජීවිතයක් දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ නිසා මේ අවස්ථාවේදී ජනතාව ඒ නිවැරදි තීරණය ගනියි කියලා හිතනවා. ඔබේ ගමේ අනාගතය, ගමේ දියුණුව ගැන හිතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ වතාවේ බලය දෙන්න ඕනෙ කියන කාරණය සිතයි කියලා හිතනවා.”

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT