Home » පොලිස් ස්ථානවලට කාන්තා හා ළමා ආරක්ෂණ ඒකක

පොලිස් ස්ථානවලට කාන්තා හා ළමා ආරක්ෂණ ඒකක

by chanaka
March 27, 2025 4:00 pm 0 comment

ජපන් තානාපති කාර්‍යාලයේ සම්බන්ධීකරණයෙන් ජයිකා ආයතනය, වර්ල්ඩ් විෂන් ආයතනය හා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ දායකත්වයෙන් දිවයිනේ තෝරාගත් පොලිස් ස්ථාන 14ක කාන්තා හා ළමා ආරක්ෂණ ඒකකයන් සදහා ඉදි කරමින් පවති.

එහි 8වැනි ගොඩනැගිල්ල කලුතර දකුණ පොලිස් ස්ථානයේ දී අද (27) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන්, ජපන් තානාපති අකියෝ ඉසොමාටා මහතා හා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම් රවී සෙනරත් මහතාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කළේය.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගියදා වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් අභියාචනාධිකරණය ලබා දුන් නඩු තීන්දුවේ කොටසක් ගෙනහැර දැක්වීය.

“The rule of Law නීතිය යනු මානව අයිතිවාසිකම් පිලිබදව ප්‍රතිපත්තියකි. එය පුරාණ රෝමයේ, යුරෝපයේ චින්තකයින් සහ ඉන්දියාවේ දාර්ශනිකයින් පවා තහවුරු කර ඇත. රජුගේ බලය පවා ධර්මයේ සීමාවලින් හා නීතියේ ප්‍රතිපත්ති මත පාලනය වේ. මේ සියළු කරුණු සලකා බැලීමේදී මෙම නඩුව පිලිබද සැලකීමේදී පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියෙකු නොවේ. පොලිසියේ ඉහලම තලයේ සිටින රටේ නිතිය සහ නියෝග පවත්වාගෙන යන තැනැත්තායි. ඔහුගේ සේවය තුල සැකකරුවන් හා වැරදි කරුවන් අප්‍රමාණ ප්‍රමාණයක් උසාවිය ඉදිරියට පමුණුවා ඇති. ඔහු සාමාන්‍ය පුරවැසියෙකුට වඩා නීති රීති ගැන දන්නා අයෙකි.

පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ නීතිය ගැන දැනුමක් තිබියදී අත්තඩංගුවට ගැනීමට තිබියදීත් නීතියේ මූලධර්ම ගැන නොසලකා සැගවී සිටීමට කටයුතු කිරීමයි. ඉන් පොලිස් දෙපාර්තමේන්තුවේ ගරුත්වය පවා විනාශ කර ඇත.“ යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“පොලිස් දෙපාර්තමේන්තුව හා අධිකරණය යන ආයතන දෙක මනා ලෙස ක්‍රියා නොකල හොත් සාමාන්‍ය ජනතාවට ඒ ආයතන දෙක කෙරෙහි ඇති විශ්වාස බිදෙනු ඇත. ඉන් මිනිසුන් තමාගේ ආරවුල් තමාම විසදා ගැනීමට පෙලබෙනු ඇත. එය අනීතික අපරාධකාරී තත්වයන් කරා යාමක් සිදු වේ. එහි උච්චතම අවස්ථාවේදී පුද්ගලයන් නීතිය තම අතට ගනු ඇත. එවිට නියත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නීතිගරුක සමාජයේ පදනම වැලලෙනු ඇත“ යැයි වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

මෙම අවස්ථාවට වර්ල්ඩ් විෂන් අධ්‍යක්ෂක ඩනන් සෙනතිරාජා (Dr. Dhanan Senathirajah) මහතා, ජපන් තානාපති කාර්‍යාලයේ දෙවන ලේකම් කුන්ලේ අඩිනියෙයි (Kunle Adeniyi), බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා, නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු පොලිස් නිලධාරින්, අමාත්‍යංශයේ සංවර්ධන අංශයේ අතිරේක ලේකම් දමයන්ති කරුණාරත්න, ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් හෂිනි ජයසේකර ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගී විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT