වසර දෙකක් තිස්සේ විශාල ලෙස ඍණ අගයන් ගනිමින් හැකිළුණු ශ්‍රී ලංකා ආර්ථිකය 2024 වසරේ 5%ක ධන ආර්ථික වර්ධන වේගයක් වාර්තා කර ඇතැයි ද මෙම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගමන් කිරීමත් සමඟ 2026 වන විට ශ්‍රී ලංකා ආර්ථිකය වසර 2018 තිබූ තත්ත්වය අබිබවා සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ ඊයේ (26) දහවල් පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2025 මාර්තු මාසයේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගැනීමට ගනු ලැබූ තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධිපතිවරයා මෙසේ ද කීය.
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පෙරේදා (25) පැවති සිය රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.00ක් ලෙස නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කළා. දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹුණා. දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය උද්ධමනය සියයට 5ක ඉලක්කය කරා ළඟා වීම සහතික කරමින් දේශීය ආර්ථිකයේ වර්ධනය සඳහා සහාය වනු ඇති බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරනවා. ප්‍රධාන වශයෙන් විදුලි ගාස්තු සහ ඉන්ධන මිල ගණන් අවස්ථා කිහිපයකදී අඩු කිරීම හේතුවෙන් උද්ධමනය දැනට ඍණ මට්ටමක පැවතුණා. 2025 මාර්තු මාසයේ සිට මෙම අවධමනකාරි තත්ත්වය ක්‍රමයෙන් ලිහිල්වනු ඇතැයි අපේක්ෂා කරන අතර, 2025 මැද භාගය වන විට උද්ධමනය ධන අගයක් වනු ඇතැයි පුරෝකථනය කරනවා.
දැනට පවතින දත්ත මත පදනම් වූ පුරෝකථන අනුව, 2025 වසර අවසානය වන විට උද්ධමනය ඉලක්කගත මට්ටම් කරා ළඟාවනු ඇතැයි අපේක්ෂා කරනවා.
වසර දෙකක් තුළදී සංකෝචනයන් වාර්තා කිරීමෙන් අනතුරුව දේශීය ආර්ථිකය 2024 වසරේදී ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත් වී ඇතැයි නවතම වාර්ෂික ඇස්තමේන්තු මඟින් පෙන්නුම් කරනවා. ආර්ථිකයේ මෑතකාලීන ප්‍රවණතා සහ ප්‍රධාන ආර්ථික දර්ශක මඟින් මෙම වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවතිනු ඇතැයි පෙන්නුම් කරනවා.
රුපියල් ද්‍රවශීලතාව අතිරික්ත මට්ටමක පවතිනවා. ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව වෙළෙඳපොළ පොලී අනුපාතික අඛණ්ඩව අඩු වුණා. අඩු පොලී අනුපාතිකවල සහාය ඇතිව පෞද්ගලික අංශය වෙත දෙන ණය ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරනවා. දේශීය ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සහාය ලබා දෙමින් මෙම ප්‍රවණතාව අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා.
විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය අපේක්ෂා කළ මට්ටමට වඩා හිතකරව පවතිනවා. අපනයන අඛණ්ඩව ඉහළ ගිය අතර, ආනයන වර්ධනය වීම හේතුවෙන් වෙළෙඳ හිඟය පුළුල් වුණා. සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් විදේශීය ජංගම ගිණුම වර්ධනය වීමට උපකාරි විය. ආයෝජක විශ්වාසය ඉහළ යෑම පිළිබිඹු කරමින් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත විදේශ විනිමය ගලා ඒම මෑතකාලීනව ඉහළ ගියා. මහ බැංකුව විදේශ විනිමය ශුද්ධ පදනම මත මිල දී ගැනීම ඉහළ යෑම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනෙහි සිවුවන වාරිකය ලැබීම දළ නිල සංචිත ප්‍රමාණය ඉහළ නැංවීමට උපකාරි වූ අතර එමඟින් විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු වී තිබෙනවා. 2025 වසරේ මේ දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා යැයි ද අධිපතිවරයා කීය.
උද්ධමනය සහ ආර්ථික වර්ධන ඉදිරි දැක්ම කෙරෙහි බලපාන අවදානම් බොහෝ දුරට තුලිතව පවතිනවා. කෙසේ වෙතත්, ගෝලීය වෙළෙඳ ක්‍රියාකාරකම් සහ භූ දේශපාලනික අවිනිශ්චිතතා ඇතුළු ගෝලීය ආර්ථික ප්‍රවණතා මඟින් ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති විය හැකි බලපෑම පිළිබඳ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානයෙන් සිටිනවා. ඒ අනුව, මුදල් ප්‍රතිපත්ති සම්පාදනය අඛණ්ඩව ඉදිරි දැක්මකින් සහ දත්ත මත පදනම්ව සිදු කරනවා. ආර්ථිකය එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීම සඳහා සහාය වන අතරම, මිල ස්ථායීතාව පවත්වා ගැනීම කෙරෙහි ඇති වන අවදානම් සඳහා ක්‍රියාමාර්ග ගැනීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සූදානම්ව සිටින බව ද අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජයසිරි මුණසිංහ