Home » ආරක්ෂක ප්‍රධානීන්ට සම්බාධක පැනවීම සංහිඳියා වැඩපිළිවෙළ ව්‍යාකූලවීමක්

ආරක්ෂක ප්‍රධානීන්ට සම්බාධක පැනවීම සංහිඳියා වැඩපිළිවෙළ ව්‍යාකූලවීමක්

- ඇමැති විජිත හේරත්

by sachintha
March 27, 2025 4:12 pm 0 comment

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකිකයන් සිවුදෙනකුට එක්සත් රාජධානිය සම්බාධක පැනවීමේ ඒකපාර්ශ්වික පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහායක් නොදක්වන බව රජය අවධාරණය කරයි.

මෙම සම්බාධක පැනවීමේ ක්‍රියාදාමය සංහිඳියා වැඩපිළිවෙළ තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව ද රජය සඳහන් කරයි.

“ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධ එක්සත් රාජධානි සම්බාධක” යන මැයෙන් 2025 මාර්තු 24 වැනි දින එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩල හා සංවර්ධන කාර්යාලය මඟින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය කෙරෙහි රජයේ ස්ථාවරය සඳහන් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි.

එම පුවත්පත් නිවේදනයේ සඳහන් වී ඇති ආකාරයට, එක්සත් රාජධානියේ රජය ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සිව්දෙනකුට සම්බාධක පනවා ඇති අතර ඉන් තිදෙනකු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීහු වෙති. “වගකිවයුත්තන් දඬුවම් නොලබා සිටීමෙන් වැළැක්වීම සහතික කරන්නේ යැයි මැතිවරණ ව්‍යාපාරය අතරතුර දෙනු ලැබූ පොරොන්දුවක්” සම්බන්ධයෙන් ද එකී පුවත්පත් නිවේදනයේ සඳහන් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

අදාළ පුද්ගලයන් සතුව එරට ඇති වත්කම් අත්හිටුවීම සහ ඔවුන්ට එරටට ඇතුළු වීම තහනම් කිරීම ඇතුළත් මෙම සම්බාධක එක්සත් රාජධානියේ රජය මඟින් ගන්නා ලද ඒකපාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධාරණය කරන අතර රටවල් විසින් ගනු ලබන එවැනි ඒකපාර්ශ්වික පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහායක් නොදක්වන අතර තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වන්නේ යැයි ද සඳහන් කරයි.

වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියෙහි රජය නිරත වී සිටින අතර අතීතයේදී සිදු වූ යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතොත් ඒවා පිළිබඳ දේශීය වගවීම් යන්ත්‍රණ හරහා කටයුතු කළ යුතු වේ.

මේ අතර ශ්‍රී ලංකා රජයේ මෙම ස්ථාවරය විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා වෙත ඊයේ (26) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී දැනුම් දී තිබේ.

 

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT