Home » වතුකර ජනතාවට නව රජයෙන් සාධාරණය ඉටු වුණා

වතුකර ජනතාවට නව රජයෙන් සාධාරණය ඉටු වුණා

-අ‍ෙමරිකානු තනාපතිනි ජුලි චන්ග් කියයි

by sachintha
March 27, 2025 4:06 pm 0 comment

නව රජය විසින් වතුකර ජනතාවට නිවාස සහ වෙනත් ප්‍රතිලාභ ලබාදීමේදී පෙර මෙන් පක්ෂ – පාට නොබලා සාධාරණව ක්‍රියා කිරීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන බව මෙරට අ‍ෙමරිකානු තනාපතිනි ජුලි චන්ග් මහත්මිය අවධාරණය කළාය.

අ‍ෙමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා අතර විශේෂ හමුවක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පෙරේදා (25) වැනිදා පැවැත්විණි. තනාපතිනිය මේ බව කියා සිටියේ එහිදීය.

ඉදිරියේදී මෙරට ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා තේ, පොල්, රබර් යන ක්ෂේත්‍රවල සිදු කළ යුතු නව්‍යතාවන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම ඉදිරියේදී අ‍ෙමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සම්බන්ධතා වර්ධනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් තනාපතිනිය අවධාරණය කළාය. මලයගම් ප්‍රජාව මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දී ඇති බවත්, එම ජනතාවට අහිමි වී ඇති මූලික අයිතීන් ලබාදීමට රජයක් ලෙස පූර්ණ ලෙස මැදිහත්වී කටයුතු කරන බවත් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේය.

මැතිවරණ කාලයට දේශපාලකයන් ඡන්දය ලබා ගැනීමේ අරමුණින් වතුකර ජනතාවට පොරොන්දු ලබා දුන්න ද ඉන්පසු එම පොරොන්දු ඉටු නොකිරීම කනගාටුවට කරුණක් බව ජුලි චන්ග් මහත්මිය පැවසුවාය.

වසර 76ක් පුරා මලයගම් ප්‍රජාව දේශපාලකයන් විසින් රැවටීමට ලක් කළ බවත් නව රජය යටතේ මින් ඉදිරියට කිසිසේත් එවැන්නක් සිදු නොවන බවත් ඇමැතිවරයා පැවසීය.

එමෙන්ම නිවාස ලබාදීමේදී ප්‍රමුඛතාව ලබාදෙනු ලබන්නේ ආපදාවට ලක් වූ සහ ආපදාවට ලක්විය හැකි යැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය(NBRO) මඟින් තහවුරු කරන ලද නිවාසවල සිටින ජනතාවට බව ඇමැතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම පසුගිය කාලයේදී මෙන් නොව, මෙම නිවාස ලබාදීමේදී හා ඉදිකිරීමේදී කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොවන බවත් එහි පූර්ණ මැදිහත්වීම සහ අධීක්ෂණය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මඟින් සිදු කෙරෙන බවත් ඇමැතිවරයා පැවසීය.

නව රජයේ වැඩපිළිවෙළ පිළිබඳව සිය ප්‍රසාදය පළකළ අමෙරිකානු තානාපතිනිය සිය සුබපැතුම් එක් කරමින් දෙරට අතර මිතුදම තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බ‍වත් සඳහන් කළාය.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැති සුන්දරලිංගම් ප්‍රදීප්, අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්තී මහත්වරු එක්ව සිටියහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT