සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ඈවර කිරීම සම්බන්ධයෙන් වන පූර්ව ඇමැති මණ්ඩල තීරණය අවලංගු කර ශක්‍යතාවයෙන් යුත් ව්‍යාපාරික සැලැස්මක් මත පදනම්ව එම සංස්ථාවේ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ඈවර කිරීමට තීන්දුවක් ගනු ලැබූ සතොස ආයතනය දියුණු කිරීම සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩලය මඟින් යම් සැලැස්මක් ඉදිරිපත් කර තිබෙන බව හෙතෙම කීවේය.
1949 අංක 47 දරන සමුපකාර තොග වෙළෙඳ සංස්ථා පනත පරිච්ඡින්න කර, එම ආයතනය ඈවර කිරීමට එවකට ඇමැති මණ්ඩලය මඟින් 2024.09.02 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇති බව හෙතෙම පැවසීය.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුවට අනුගතව වෙළෙඳපොළ තරගකාරිත්වය ප්‍රවර්ධනය කිරීම මඟින් මහජනතාව වෙත ගුණාත්මක භාණ්ඩ හා සේවා සාධාරණ මිල ගණන් යටතේ අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ අරමුණින් වෙළෙඳපොළ මෙහෙයුම් තුළ රජයේ කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට හැකියාව පවතින බව ඒ මහතා සඳහන් කළේය.
එබැවින්, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව ඈවර කිරීම සම්බන්ධයෙන් වන පූර්ව ඇමැති මණ්ඩල තීරණය අවලංගු කර ශක්‍යතාවයෙන් යුත් ව්‍යාපාරික සැලැස්මක් මත පදනම්ව එම සංස්ථාවේ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීමට අනුමැතිය හිමිව ඇති බව ඒ මහතා කීවේය.
නුවන් කොඩිකාර