ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණයට එරෙහිව පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සමාලෝචනය කරමින් 2025 – 2029 කාලසීමාව සඳහා පස් අවුරුදු නව දූෂණ විරෝධී ජාතික සැලැස්ම සකස් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සියලු රාජ්‍ය ආයතන සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් මෙම පස් අවුරුදු දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025 ‑ 2029 ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය. එම කැබිනට් තීරණය මෙසේය. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්යභාරය, අල්ලස් හා දූෂණ සම්බන්ධ වැරදි විමර්ශනය කිරීමේ සහ නඩු පැවරීමේ සිට රට පුරා අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා දූෂණ විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ නියාමනය දක්වා පුළුල් කරනු ලැබ තිබේ.
රජයේ “Clean Sri Lanka” වැඩසටහන ශ්‍රී ලාංකික සමාජයේ සදාචාරාත්මක සංවර්ධනයේ ඉහළ මට්ටමකට ඔසවා තැබීමට උත්සාහ දරන බැවින්, සියලු අංශ ඇතුළත්ව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාතික දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියෙහි නියම කර ඇති පරිදි ජාතික දූෂණ විරෝධී රාමුවක් සකස් කර ක්‍රියාත්මක කිරීම සඳහා මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පවතින ඇතැම් බැඳීම් ඉටු කිරීම සඳහා ද ශක්තිමත් දූෂණ විරෝධී රාමුවක් ක්‍රියාත්මක කළ යුතුව තිබේ. දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 5 වැනි වගන්තිය යටතේ වන බැඳීම්වලට අනුකූලව ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණයට එරෙහිව පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2019 ‑ 2023 කාලසීමාව තුළ ක්‍රියාත්මක කරනු ලැබ ඇත.
එකී ක්‍රියාකාරී සැලැස්ම සමාලෝචනය කරමින්, දේශීය හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් 2025 ‑ 2029 කාලසීමාව සඳහා නව දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබේ.
නුවන් කොඩිකාර