කෘෂි භෝග සඳහා හානි පමුණුවන වන සතුන් පිළිබඳ ජාතික සංගණනයේදී තමන් රැස් කරගත් තොරතුරු ග්‍රාම නිලධාරීන් හෝ සංගණනයට එක් වූ අනෙක් රාජ්‍ය නිලධාරීන් වෙත දීම ජනතාවගේ වගකීමක් බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“පසුගිය 15 වැනිදා උදේ 8.00ත් 8.05ත් අතර කාලසීමාවේ තම ගෙවත්ත, වගා බිම, පාසල, පුණ්‍යභූමි සහ වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ අදාළ පරිශ්‍රයේ සිටින වඳුරන්, රිළවුන්, දඬු ලේනුන් සහ මොනරුන් සංඛ්‍යාව සටහන් කළ පත්‍රිකාව ග්‍රාම නිලධාරි, සමෘද්ධි නිලධාරි ඇතුළු මේ සංගණනයට තොරතුරු රැස්කිරීමේ කටයුතු සඳහා එක්වූ රාජ්‍ය නිලධාරීන් තම දෙපතුල වෙත එන තෙක් නොසිට එම නිලධාරීන්ට දීම යුතුකමක්. රජයේ නිලධාරීන් මේ සංගණනයට එක් වූයේ ස්වේච්ඡාවෙන්. ඔවුන් ඒ සඳහා කිසිදු දීමනාවක් ගත්තේ නෑ. කොන්දේසි විරහිතව මේ සංගණනය සාර්ථක කරගැනීමට ජනතාව සහයෝගය දිය යුතුයි.
මේ සංගණනයේ දිස්ත්‍රික් මට්ටමේ තොරතුරු ඇතුළත් වාර්තාව හෙට (28) ලැබීමට නියමිතයි. අදාළ පරිශ්‍රයේ සිටින වඳුරන්, රිළවුන්, දඬු ලේනුන් හා මොනරුන් සංඛ්‍යාව ගණන් කර ග්‍රාම නිලධාරිවරයා විසින් දී තිබෙන සංගණන පත්‍රිකාවේ සටහන් කළ තොරතුරු ඇතුළත් පත්‍රිකා පසුගිය 24 වැනිදා වන විට ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලැබී තිබෙනවා. එම තොරතුරු ඊයේ (26) වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලැබීමට නියමිතව තිබුණා. දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් අදාළ තොරතුරු රැගත් වාර්තා 28 වැනිදා වන විට කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත යොමු කරනවා.”
බුද්ධිකා ඉඹුලාන