Home » පළාත් පාලන ජයත් සමඟ ජනතාව අපේක්ෂා කරන පරිවර්තනය වේගවත් වෙනවා

පළාත් පාලන ජයත් සමඟ ජනතාව අපේක්ෂා කරන පරිවර්තනය වේගවත් වෙනවා

-නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

by sachintha
March 27, 2025 4:51 pm 0 comment

ජනපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ගත් ජයග්‍රහණයට වඩා වැඩි ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයට පළාත් පාලන ඡන්දයේදී ලැබෙන බවත්, ඉන්පසු ජනතාව අපේක්ෂා කරන පරිවර්තනය වේගවත්ව සිදු කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ මහනුවර ඊ. එල්. සේනානායක පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති ඉංජිනේරු වෘත්තිකයන්ගේ රැස්වීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“අපි අය-වැය ඉදිරිපත් කළා. අය-වැයේදී පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් ලෙස කොටස් දෙකකට මුදල් වෙන් කෙරෙනවා. ප්‍රාග්ධන වියදම්වලින් තමයි, රටේ ආර්ථිකය කොච්චර උඩකට ගන්න පුළුවන්ද කියලා ගණනය කරන්න පුළුවන් වන්නේ. අපේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය රුපියල් බිලියන 480 ගණනක්. මින් රුපියල් බිලියන 430 ගාණක්ම වෙන් කෙරෙන්නේ ප්‍රාග්ධන වියදම්වලටයි. මේ සල්ලි බිමට ගිහින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිවලින් තමයි, අපේ ආර්ථිකය උද්දීපනය වෙන්නේ. ජී.ඩී.බී. අගය 3.5 සිට 5 දක්වා අරන් යන්න පුළුවන් වෙන්නේ එවිටයි. මේ කාර්යයේදී ඉංජිනේරු වෘත්තිකයන්ට ප්‍රමුඛ වගකීමක් පැවරෙනවා.

මෛත්‍රීපාල සිරිසේන ජනපති වෙලා හිඟුරක්ගොඩ ඒ 23 බස්සන්න ගුවන්තොටුපොළක් හදනවා. ප්‍රමුඛතාව දී මේක කරන්න ඕනද? මේ පාර අය-වැයෙන් රුපියල් බිලියන 2500ක් සූරියවැව ක්‍රීඩාංගණය සඳහා ණය පොලී ගෙවන්න වරාය අමාත්‍යාංශය වෙන් කළා. මොකද මේක හදලා තියෙන්නේ වරාය අමාත්‍යාංශයේ සල්ලිවලින්. සල්ලි තියෙන තැන බලලා එතැනින් අරන් හදනවා. අපේ රටේ අතිදක්ෂ පිරිස් ඉන්නවා. ඔවුන්ගේ සැලසුම් සියල්ල අවුල් වෙන්නේ දේශපාලන ඇඟිලි ගැසීම් නිසයි. අපි ජාතික සැලැස්ම මත දේශපාලනය ඔබ්බවන්න යන්නේ නෑ. ජනපතිවරණය සහ මහමැතිවරණ ජයග්‍රහණය කිරීමෙන් අපට ආණ්ඩු බලය ලැබුණා. පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩු බලය බිම් මට්ටම දක්වාම එළාගන්න අපට අවස්ථාව ලැබෙනවා. ආණ්ඩු බලය ගැනීමෙන් පසු රාජ්‍ය බලයේ ශක්තිය අපේ ගමනට එකතු කරගැනීම තමයි අපේ අරමුණ. ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමෙන් ජනතාව අපේක්ෂා කළ පරිවර්තනය ඉක්මනින් සිදු නොවන බවට චෝදනා එල්ල වෙනවා. ඒක අපි දන්නවා. පළාත් පාලන ඡන්දෙන් පසුව ජනතාව අපේක්ෂා කරන ඒ ශීඝ්‍රතාව තවත් වැඩි කරගෙන අපේ ගමන යන්න සැලසුම් කර තිබෙනවා.”

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT