අදානිගේ වැඩසටහන අප මෙරටට ගෙන ආ යුතු බවත්, එම වැඩසටහන ක්‍රියාත්මක කළොත් තවත් විදේශ ආයෝජන අප රටට ලැබෙනු ඇති බවත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හිටපු ජනපති මේ බව පැවසුවේ හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත ‘ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුධය’ නම් කෘතිය එළි දැක්වීම වෙනුවෙන් පෙරේදා (25) ශ්‍රී ලංකා මහ බැංකු විදු පියස ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා මෙසේ ද කීවේය.
“අපට ණය ගෙවන්න තිබෙන්නේ 2028 වසරේදී. අපට ආයෝජකයන් කිහිප දෙනෙක් සිටිනවා. අප ඔවුන් ආරක්ෂා කර ගත යුතුයි. අදානි සමාගම සමඟ අපි සාකච්ඡා කළා. දෙන්න පුළුවන් අඩුම සහ වැඩිම මිල අප සාකච්ඡා කළා. අපි එයින් පිට ගියේ නෑ. අදානි වැඩසටහන අප මෙරටට ගෙන ආ යුතුයි. මේ වැඩසටහන ගෙන ආවා නම් කොපමණ විදේශ ආයෝජන අප රටට ඒවිද? ආණ්ඩු කිහිපයක් එකඟ වූ වැඩසටහන් කිහිපයක් එක් ලියවිල්ලකට දාමු යැයි මම 2023දී යෝජනා කළා. එය දර්ශන ප්‍රකාශයයි. ත්‍රිකුණාමලය වරාය දියුණු කිරීම එයින් එකක්. ත්‍රිකුණාමලයේ අක්කර දාහක ආර්ථික කලාපයක් ඇති කරන්න, එහි සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න, තෙල් ටැංකි දියුණු කරන්න මම එකඟ වුණා.
අද තිබෙන අවදානම් තත්ත්වය අනුව අපට උදවු කරන්නේ කවුද? ආයෝජන ගෙන එන්නේ කවුද? අපට එදා ඉන්දියාවෙන් ඩොලර් බිලියන හතරක් නොලැබුණා නම් මොකද වෙන්නේ? එහෙම වුණා නම් මිනිස්සු ගිනි තියනවා. ඒ තත්ත්වයයි එදා තිබුණේ. අපි එයින් බේරුණා. වෙන රටකට අපට එසේ උදවු කරන්න බැරි වුණා. ජපානයේ නීති රීති අනුව එය කරන්න බැරි වුණා. බංකොලොත් රටකට උදවු කරන්න බෑ. අපේ වාසනාවට ඉන්දියාවේ එසේ නීති තිබුණේ නෑ.
අපි අදානිගේ මුදල් අතට ගමු. පිට අය එන්නේ එවිටයි. ඒවා නැති කර ගන්න හොඳ නෑ. ඉන්දියාව අපේ මිත්‍රයෙක්. මම පිටරටවලට ගියාම සමහරු ඇහුවා, අපි ඉන්දියාවට විරුද්ධද කියලා. ඒ මතය දෙන්න හොඳ නෑ. ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනය ට්‍රිලියන තුනහමාරයි. 2050 වන විට එය ට්‍රිලියන 30ක් වෙනවා. අපි මෙහි එල්ලිලා ගියොත් 2060 වන විට ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් ඇති කරන්න බැරිද? අප ඉන්දුනීසියාව සමඟත් ගනුදෙනු කළ යුතුයි. එය ලෝකයේ හතර වැනි විශාලතම ආර්ථිකයට හිමිකම් ලබනවා. එය අපට යන්න තිබෙන පාරයි. අපට ආයෝජනය අවශ්‍යයි. අපි ඉන්දියාව ප්‍රතික්ෂේප කළොත් අප දියුණු වෙන්නේ නෑ. දියුණු වෙන්න දළ දේශීය නිෂ්පාදනය වැඩි කර ගත යුතුයි. කොයි ආණ්ඩුව තිබුණත් ඒ දේ කළ යුතුයි.”
ශිරෝමි අබයසිංහ
ඡායාරූපය- සුදත් මලවීර