Home » සියලු දේ රජයෙන් කළ යුතුය යන ස්ථාවරයේ අපි නැහැ

සියලු දේ රජයෙන් කළ යුතුය යන ස්ථාවරයේ අපි නැහැ

-ඇමැති කේ.ඩී. ලාල් කාන්ත

by sachintha
March 27, 2025 4:45 pm 0 comment

රටේ සියලු දේ රජය විසින් සිදු කළ යුතුයි යන ස්ථාවරයේ ජාතික ජන බලවේගය නොසිටින බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමැති ලාල් කාන්ත මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (25) කොළඹ, මහවැලි කේන්ද්‍රයේ පැවැති ‘අය-වැය එදා, අද සහ හෙට’ සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයෙන් මෙය සංවිධාන කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“ජාතික ජන බලවේගය ඇඩම්ස් ස්මිත්ව පිළිගන්නේ නෑ. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියන මූලධර්මය මත මෙවර අය-වැය ගෙනත් තිබෙනවා. අය-වැය පිළිබඳව තිබෙන දුර්මත වැරදියි. මෙවර අය-වැය ජනතාවාදී අය-වැයක්. එය ජනතාව නිවැරදිව තේරුම් ගත යුතුයි.

මෙවර අය-වැය පිළිබඳව පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් සාකච්ඡා වුණා. සමහරු කිවුවා, මේකෙ සමාජවාදය, කාල්මාක්ස්, ලෙනින් නෑ කියලා. අප වටා පෙළ ගැසී ඉන්නවා ශක්තිමත් සමාජවාදී බලවේගයක්. ඔවුන් අපෙන් බිඳවට්ටන්න තමයි විරුද්ධ පිරිස් අය-වැය තුළ සමාජවාදය නෑ කියලා කියන්නේ. මේ අය-වැය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල්වාදීන්ට බව ඔවුන් ප්‍රකාශ කළා.

අද වෘත්තීය සමිති නායකයන් යැයි කියා ගන්නා ඇතැමුන්ට ගණිතය බෑ. හැබැයි ඉදිරියේදී වැටුප අතට ගත්තාම මේ රජය කොහොමද ජනතාවට කටයුතු කර තිබෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඇඩම්ස් ස්මිත් කියන්නේ සම්භාව්‍ය ලිබරල්වාදියෙක්. ලිබරල්වාදය තුළ ආර්ථික, සමාජ, දේශපාලන, සංස්කෘතික කියලා කොටස් තිබෙනවා. මෙවැනි කරුණු පිළිබඳව අප භාවිත කරන ජංගම දුරකතනය උපයෝගී කර ගනිමින් අපට වර්තමානයේ තොරතුරු සොයා බලන්න පුළුවන්. සෝවියට් දේශයේ ස්ටාලින්වාදීන්ගේ පාලනය තුළ ආර්ථිකය මුළුමනින් හැසිරවූයේ රජය විසින්. ජාතික ජන බලවේගය එය පිළිගන්නේ නෑ. සෝවියට් දේශයේ තිබූ එම ප්‍රතිපත්තිය පිළිගන්නේ නෑ. රෝහණ විජේවීර සහෝදරයාත් ඒ බව සඳහන් කළා. රජය මැදිහත් වන ඇතැම් තැන්වල වර්තමානයේත් නිලධාරීවාදය, අකාර්යක්ෂමතාව සිදු වෙනවා. හැබැයි ඒ අතර අවංකව කැපවීමෙන් කටයුතු කරන පිරිසකුත් ඉන්නවා.

ජේ.ආර්. එදා මේ රටේ ක්‍රියාත්මක කළ ආර්ථික දර්ශනය තමයි, නව ලිබරල්වාදය. එම ක්‍රමය ඉන්පසුව ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල් ගෙන ගියා. ඒ පිළිබඳව රනිල් වික්‍රමසිංහ ඉතා දැනුම්වත්. රනිල්ට දර්ශනයක් තිබෙනවා. මහින්දට දහමක් නෑ. මේ තත්ත්වය තුළ දේශපාලනඥයන් පට්ට දූෂිතයන් වුණා. ඇතැම් ධාන්‍ය ගෙන එන්න අවසර ගන්න ඇතැමුන් අප හම්බවෙන්න දැනුත් එනවා. ඇති වන වාසි පිළිබඳව ප්‍රකාශ කරනවා. අප වැරදි කරන අය ක්‍රමයෙන් ඉවත් කළ යුතුයි. ”

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර ඇමැති වසන්ත සමරසිංහ මහතා,

“පසුගිය වසර දෙක තුන දෙස ආපසු හැරී බැලීමේදී වෘත්තීය සමිති සහෝදර, සහෝදරියන් විවිධ ඉල්ලීම් සම්බන්ධයෙන් සටන් වැදුණා. එසේ කටයුතු කළ අප වර්තමානයේ පවතින ජනතාවාදී රජයේ අය-වැය පිළිබඳව කතා කරනවා. වැඩ කරන ජනතාවට වැටුප් වැඩි වෙන විට මැති ඇමැතිවරුන්ගේ වාහන අඩු කළා. ජනතාව වෙනුවෙන් තමා වත්මන් රජය කටයුතු කරන්නේ. ජනතාව මත බර පටවන්නේ නැතිව කටයුතු කිරීම රජයේ අරමුණයි. ඉල්ලන්නේ නැතිව වැටුප් වැඩිවීම් අප දෙනවා. ලබන ජනවාරි වන විට රුපියල් 30,000ට අඩුවෙන් රටේ රස්සා නෑ. රාජ්‍ය සේවයේ පහළම ඉන්න කෙනාගෙත් වැටුප රුපියල් 15,750කින් වැඩි වෙනවා. වැටුප් වැඩිවීමේ ගැසට් එක අද එයි. අපි කාටවත් කොළේ වහලා කටයුතු කරන්නේ නෑ.”

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ලේකම්, කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා,

“වෘත්තීය සමිති නායකයන් යැයි කියා ගන්නා නායකයන්, අධ්‍යක්ෂ ජනරාල්ලා පරණ බොරු ගෙන යනවා. අය-වැයෙන් වැටුප් අඩුවෙන බව ප්‍රකාශ කරනවා. මෙය බොරුවක් බව අප පෙන්වා දිය යුතුයි. රුපියල් 32,525 සිට රුපියල් 54,920 දක්වා වැඩි වෙනවා. බොරුව, වංචාව සමාජයට හෙළිදරවු කරන්න ඕනෙ. වැටුප් පිළිබඳ සාකච්ඡාවට ලාල් කාන්ත සහෝදරයා, වසන්ත සමරසිංහ සහෝදරයා සහ මමත් සහභාගි වුණා. අප එහිදී පෙන්වා දුන්නේ මූලික වැටුප වැඩි විය යුතු බවයි. මේ වන විට ජනතාව ඇත්ත තේරුම් ගෙන තිබෙනවා. ”

උපාලි කරුණාරත්න

ඡායාරූප- සුදත් නිශාන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT