මෙවර සාමාන්‍ය පෙළ විභාගය ඊයේ (26) දිනෙන් අවසන් විය.මෙරට විභාග අතර සාමාන්‍ය පෙළ විභාගය කඩයිම් විභාගයක් වන්නේ දරුවාගේ අනාගත ගමන්මඟ තීන්දු කිරීමට එම විභාගය බොහෝ බලපෑම් කරන නිසාය.ඒ වෙනුවෙන් මේ දිනවල පාසලේ ළමයි නිදිවරාගෙන පාඩම් කරන්නේ, වසර එකොළහක් පාසල් ගොස් ඉගෙනගත් දේ කිරා මැන බලන්නේ සාමාන්‍ය පෙළ විභාගයෙන් බැවිනි.
ඉගෙන ගන්න අවුරුදු එකොළහක් පාසල් ගොස් එයින් පසු තවත් අවුරුදු 40ක් උගන්වන්න පාසල් ගොස් අහවර වූ 88 වියැති විශ්‍රාමික ගුරුවරියක් අද ආයෙමත් සාමාන්‍ය පෙළ දෙමළ විෂයය ලියන්න හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට උදෑසන පැමිණියාය.
ඇය නමින් කේ. මිසිලින් නෝනාය. ඇය උපන්නේ 1937 අවුරුද්දේය. ඇය සිය වැඩිමහල් දියණිය සහ මිණිපිරියක සමඟ පදිංචිව සිටිනුයේ ප්රබුද්ධගම, අගුරුවාතොට ලිපිනයේය. අද උදෑසන ඇය, ඇයගේ බාල දියණිය සමඟ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට පැමිණියාය. අවුරුදු 16ක තම මුනුබුරු මිනිබිරියන්ගේ වයසේ කටයුතු කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ එක්ව අද ඇය විභාග ශාලාවට පියනැඟුවාය.
තමන් සමඟ එක්ව දෙමළ විෂයය විභාගය ලියන ආච්චි අම්මාට දරු දැරියෝ හැමදෙනාම උදෑසනින්ම සුභ පැතූහ. ඇයට දරුවන් 7 දෙනෙකි. එයින් පිරිමි තිදෙනෙක්ම රට රකින ක්‍රියාන්විතය වෙනුවෙන් හමුදාවට බැඳුණේය. ඒ සියලු දෙනාම දැන් විශ්රාමිකය. ඇය බොහොම සතුටින් අප සමඟ මෙසේ පැවසුවාය.
මට මුලින්ම ගුරු පත්විම ලැබුණේ අවුරුදු 20දී. ඒ 1957 අවුරුද්දේ. නුවර මඩුගල්ල තිබෙන දුෂ්කරම කලවල ඉස්කෝලෙට. ඊට පස්සේ බුඑගහතැන්න මුස්ලිම් ඉස්කෝලෙකට දැම්මා. සිංහල උගන්වන්න. හරි ගැටලුවක් වුණේ මම දෙමළ දන්නේ නැහැ. ඒ දරුවෝ සිංහල දන්නේ නැහැ. මේක “අ” යන්න’ කිව්වාම. ඒ දරුවොත් කියන්නේ මේක “අ” යන්න’කියලා. මම නැවතිලා හිටියෙත් මුස්ලිම් ගෙදරක. ඔහොම තමයි කරගෙන ගියේ.” එයින් අනතුරුව ඇය මහරගම, පමුණුව විද්‍යාලය, අලව්ව විද්‍යාලය, දියසෙන්පුර විද්‍යාලය, අරණායක බකුල්වල විද්‍යාලය, ගනේතැන්න මහා විද්‍යාලය සිට එතැනින් කළුතර මියුසියස් ගුරුවිද්‍යාලයට පැමිණියේ ගුරු පුහුණුව ලබා ගැනීමටය. පුහුණුවෙන් පසු ඇය ගියේ හොරණ කබල්ලාගොඩ පාසලටය. බොහෝ කාලයක් රටපුරා පාසල්වල සේවය කර වේරවත්ත පාසලට ආවේ ගමට පැමිණීමේ ප්‍රීතියත් සමඟයි. එහෙත් පාසල් පරීක්ෂකවරියක් ඇයට ඒ සතුට වැඩි කලක් භුක්ති විඳින්න දුන්නේ නැත. නැවතත් ඇයව වරකාගොඩ පාසලකට මාරු කළාය. තවත් ටික කලක් ඇවෑමෙන් රෙමුණ මහා විද්‍යාලයට ගිය ඇය වසර 40ක සාර්ථක සේවා කාලයක් සම්පූර්ණ කර 1996 අවුරුද්දේ විශ්‍රාම ගත්තාය. “දැන් මම විශ්‍රාම අරගෙන අවුරුදු 30කට ආසන්නයි. ගෙදරදොරේ වැඩ කරගෙන හොඳින් ජීවත් වෙනවා. මැහුම් ගෙතුම් කරනවා. පන්මළු, පැදුරු වියනවා. වූල් ගොතනවා. දන්පින් කරනවා. සිල් ගන්නවා. ඔය අතරේ මට හිතුණා ගෙදර නිකම් ඉන්නවාට වඩා තව දෙමළ ටිකක් ඉගෙන ගත්තොත් හොඳයි කියලා. මම ආයෙමත් දෙමළ පොත් ටිකක් අරගෙන ඉගෙන ගන්න පටන් ගත්තා. මට ගුරුවරයෙක් නැහැ. තනියෙන්මයි ඉගෙන ගන්නේ. අද අවුරුදු 88ක් වන මම අවුරුදු 16 පොඩි දරුවොත් එක්ක එකට විභාගෙ ලියනවා. අද මගේ ජීවිතයේ හරිම සතුටු අමරණීය දිනයක්”
ඉගෙන ගැනීමට, විභාග සමත් කරන්න වයස ප්‍රශ්නයක් කර නොගත් ඇය සැබැවින්ම රටට ආදර්ශවත් කාන්තාවකි. ඇයට විභාගයෙන් සමත්වෙන්න අපි සුබ පතමු.
හොරණ සමූහ – මංගල ප්‍රසන්න